ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන ක්වොක් සංවිධානය දෙසැම්බර් 07 වැනි දිනට පෙර කෝවිඩ් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වන ලෙස දැනුම්දුන්නද, වත්මන් ආණුඩුව ඒ ගැන කිසිදු  සැලකිල්ලකින් තොරව ක්‍රියාකරමින් සිටින බවත්, දැනටමත් දුගී යැයි හඳුනාගත් රටවල් 90කට ආසන්න ප්‍රමාණයකට කෝවිඩ් එන්නත  නොමිලේ ලබාදීමේ කටයුතු සිදු කරගෙන යමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.  
එය මෙරට වෛද්‍ය විශේෂඥයන් විසින්ද තහවුරු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කිසිදු උනන්දුවක් නොදක්වන බවත් රණවක මහතා කියා සිටියේය.  මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,


"අපට වඩා විශාල අපට වඩා කීප ගුණයක් ජනගහනය ඉන්න ඉන්දුනීසියාව ඩොලර් 1.64කට ඒක එන්නතක් (ඇස්ට්‍රා සෙනෙකා එන්නත) ලබාගැනීමට කටයුතු කරනවා කියල අපි දැක්ක. ගබඩා කිරීමේ කටයුතුත් එක්ක මේක ඩොලර් 02කට අපට  ලබාගන්න පුළුවන් කියල අපේ විදඥයෝ, මේ පිළිබඳ විශේෂඥයෝ පළකරල තියෙන අදහස්වලින් පේනවා. එතකොට අපට මේ මුළු රටේම මිලියන 20ක් වෙච්ච ජනතාවට මේක ලබාදෙන්න යන්නේ ඩොලර් මිලියන 40යි. ඒ කියන්නේ රුපියල් මිලියන 8000ක් පමණ. අර විල්මා සීනි ගනුදෙනුව හරහා අපේ ජනතාවගේ කහට කෝපෙන් ගහපු ගාණ ඊට වඩා වැඩියි. මහ බැංකු වංචාව වගේ දහගුණයක මංකොල්ලයක් මේ සීනියි පොල්තෙලුයි ගනුදෙනුවෙන් ගහල තියෙනවා. ඒ අතරේ ලෝක බැංකුවෙන් ණය ඉල්ලනවා එන්නත ගන්න.


එමෙන්ම අපට වාර්තා වෙනවා වත්මන් ආණ්ඩුව ලෝක සෞඛ්‍යා සංවිධානයට අනුබද්ධ  කොවැක්ස් සංවිධානය මගඇරල කෝවිඩ් එන්නත රුසියාවෙන් හෝ චීනයෙන් ලබාගන්න කටයුතු කරමින් සිටින බව. රුසියාවේ හා චීනයේ එන්නත්වල ප්‍රමිතිය සමහරවිට ජාත්‍යන්තරව සහතික වෙලා තියෙන්න පුළුවන්.  නමුත් අපිට අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි තැනකින් ජාත්‍යන්තර සහතිකයක් මේව ලබාගන්න. නැත්නම් මේවත් ධම්මික පැණිය වගේ වෙන්න පුළුවන්. ඇන්ටිජන් වංචාව වගේ  වෙන්න පුළුවන්. ඒ වගේම සැනිටයිසර් වංචාව වගේ වෙන්න පුළුවන්” යැයිද සඳහන් කළේය.


-නවෝද්‍යා පවනි-