කොරෝනා සඳහා තහවුරු නොකළ ඖෂධ පිළිබඳව රජයේ ඇමැතිවරුන් සමාජයට පණිවිඩ දෙන්නට යාම වැරදි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී ඊයේ (13 වැනිදා) පැවැසීය.
අඩු ගණනේ භාවිත කළ යුතුව ඇත්තේ ලංකාවේ ඖෂධ පාලන අධිකාරිය අනුමත කළ බෙහෙත් පමණක් බව කී රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොකර “එන්ජින් ඔයිල්" බොන්නට යෑමෙන් අවසානයේ සිදුවිය හැකි  දේ සිතා ගන්නට නොහැකි බව ද සඳහන් කළේය.  දරුණු ලෝක වසංගතයක් වන මේ සඳහා මුහුණ දීමේදී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් අදාළ කටයුතු කළමනාකරණය කර ගැනීම අසීරු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්දන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කොරෝනා සඳහා බෙහෙතක්  නිෂ්පාදනය කිරීමට එම පරීක්ෂණ සිදුකරන අතර ඊට සහාය දැක්වීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්දැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.  ලංකා ආණ්ඩුව එම පරීක්ෂණ සඳහා ආධාර නොකළත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පට ආධාර දීමට තිබෙන බව කී හෙතෙම ඒ පරික්ෂණ ගැන සොයා බැලීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දෙතුන් වතාවක්ම ගොස් ඇති බව ද සඳහන් කළේය.  සිංහ සමාජය බියගම ඉදිකිරීමට නියමිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
 -අංජුල මහික විරරත්න-