හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දිය අසල ඉකුත් 16 වැනිදා සවස 5.35 ට සිදු වූ බිහිසුණු රිය අනතුරකින් තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්  විය. ලංගම බස් රථයක් ඉස්සර කර යන්න හැදූ යතුරු පැදියක් මාර්ගය මැද පෙරළී යතුරු පැදියෙන් වැටුණ යුවළගේ සිරුරු මතින් බස් රථයේ රෝද ගමන් කිරීම නිසා තරුණ යුවළ එම ස්ථානයේදීම මරණයට පත්වූහ. 

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ මතුගම, යටදොලවත්ත, ඉද්දමල්වත්ත පදිංචි 23 හැවිරිදි කේ.ඩී. තිසල් ශානක කුමාරසිංහ සහ වැලිමඩ උඩපෝරුව, ලුනුවත්ත පදිංචි ජයසුන්දර මුදියන්ස්ලාගේ කලණි ගංගා රාජිනි නම් 22 හැවිරිදි තරුණියකි.මියගිය තරුණයාගේ මතුගම නිවෙස වෙත 19 වැනිදා


අප යන විටත් ඔහුගේ මව දේහය අසල විලාප දෙමින් හඩා වැළපෙමින් සිටියාය. 

ඉතාමත් ආදරයෙන් බැඳුණු ඔවුන් ඉදිරියේදී විවාහ වීමට අවශ්‍ය පසුබිම සැලසුම් සකස් කරමින් සිටි බව වාර්තා විය. මියගිය තිසල් ශානක තරුණයාගේ වැඩිමහල් සොයුරියගේ සැමියා වන ඉන්දික විමල් කුමාර මෙසේ පැවසුවේය. 

තිසල් මල්ලි සහ මම සේවය කරමින් සිටියේ මහරගම ප්‍රධාන පෙළේ ආපනශාලාවකයි. මම එහි ප්‍රධාන සූපවේදී හැටියට කටයුතු කරන්නේ. මල්ලි මගේ සහයක සූපවේදියෙකු ලෙසයි එහි සේවය කළේ. එයා විවාහ වෙන්න සිටිය කලණි නංගි අපේ. ආයතනයට අයත් සුපිරි වෙළෙඳ සැලක මුදල් අයකැමි ලෙස කටයුතු කළා. තිසල් මගේ මස්සිනා වුණත් අපි හිටියේ යාලුවෝ දෙදෙනෙක් වගේ. මට සියල්ල  කියනවා. මියගිය නංගිට ඔහු බොහෝම ආදරයෙන් හිටියේ. ඒ නංගිත් ඒ වගේමයි. දෙන්නගේ විවාහයට ගෙවල් දෙකෙන්ම ආශිර්වාදය ලැබිලා තිබුණේ. ඒත් අන්තිමට නොසිතූ විදිහට දෙන්න අවසන් ගමන් ගිය එක ගැන අපි කාටත් දරාගන්න බැරි විදියේ දුකක් වේදනාවක් තියෙන්නේ.

තරුණයාගේ මව වන ඒ කාන්ති මහත්මිය හැඩු කඳුළින් මෙසේ පැවසූවාය.

 අනේ මගේ එකම පුතා ගෙදර වැඩිහිටියන් කාටත් කීකරුව හැදුණා. රටේ ගොඩාක් තැන්වල එයාගේ යාලුවන් ඉන්නවා. පුතා සූපවේදය පිළිබඳව පාඨමාලාවක් හදාරලා තමයි ඔය රැකියාවට ගියේ. ඒ පැත්තෙන් දුර ගමනක් යන පුතාට ලොකු ආසාවක් තිබුණා. එයා යාළු වෙලා හිටිය ගෑනු දරුවත් බොහොම ගුණයහපත් කෙනෙක්. ඒ පවුල්වල අයත් ඒ වගේමයි. මේ දෙන්නත් එක්ක එදා එයාලාට ඕනි කරන ඇඳුම් වගයක් ගන්න ගිහින් ආපහු එනකොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මට දැනෙන්නේ ලෝකෙම නැති වුණා වගේ.'

(මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ )