තරුණියකගේ අතින් ඇද්ද බව කියන සිද්ධියක් මුල් කරගෙන ඇතිවී තිබූ ආරවුලක් දුරදිග ගොස් දෙදෙනකු කපා කොටා ඝාතනය කළ බව කියන 12 දෙනකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව වඩුක්කෝඩේ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා ඊයේ යාපනය මල්ලාකම් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක කාලයකට රිමාන්ඩ් භාරයට පත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මෙම ද්විත්ත්ව ඝාතනයට සම්බන්ධ බව කියන තවත් 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔවුන් ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ යාපනය වඩුක්කෝඩේ පොලිස් වසමේ සුල්ලිපුරම් මධ්‍යම කොටසේ පදිංචිව සිටි රායන් දේවරාසා (34) සහ සින්නමාවා සෙල්වරාසා (56) නමැති දෙදෙනෙකි.

තරුණියකගේ අතින් ඇද්ද බව කියන සිද්ධියක් මුල් කරගෙන තරුණියගේ පාර්ශවය සහ ඇයගේ අතින් ඇද්ද බව කියන දෙදෙනා ඇතුළු ඔවුන්ගේ පාර්ශවය අතර කාලයක සිට ආරවුලක් පැවැති බවට තොරතුරු හෙළි වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

මේ සම්බන්ධයෙන් මෑතකදී දෙපාර්ශවය අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණය හමුවට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර සිට පසුව ඇප මත මුදාහැර තිබිණි යැයි පොලිසිය පවසයි.

ඇප ලබා පැමිණ සිටි දෙදෙනා තවත් පිරිසක් කැටුව තරුණියගේ පාර්ශවයේ අය සොයා ගොස් එහිදී ඇති වූ ආරවුලකින් පසුව මෙම ඝාතන සිදුවී ඇති බව ද පොලිසිය කියයි.

උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යාපනය දිසා භාර සේනාරත්න මහතාගේ උපදෙස් මත යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සහ යාපනය සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ වඩුක්කොඩේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -