පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරන ශ්‍රීලංගමයේ තලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති ජල තටාකයකට පෙරලී අනතුරක් සිදුවිය.
අනතුර සිදුවනවිට බස් රථයේ පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති නමුත් බරපතල තුවාල කිසිවෙකුට නොලද බව
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත දන්වා ඇත.

පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී ඇති බව කියැවිණි. වෙනදා මෙම බස් රථය එම මාර්ගයේ නොයන බවත් පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැගෙන යාමට බස් රථය අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුලට ඒමට අවසර ලබාදී තිබු බවත් සේවකයින් නංවා ගෙන ආපසු යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා විය.

සංකීර්ණයට ආසන්න” ටී” වංගුවේදී අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.