පසුගිය සතියේ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ පුවතක් බවට පත්වූ ශ්‍රී ලාංකික තරුණයෙකු බාල වයස්කාර ජපන් ජාතික දැරියක මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම සම්බන්ධ සංසිද්ධිය 15 හැවිරිදි දැරියගේ ප්‍රකාශ අනුව වෙනස් මුහුණුවරක් ගෙන තිබේ.
දැන් වාර්තාවන්නේ මෙම දැරියගේ මව සම්බන්ධයෙන් පවතින කලකිරීමක් හා මවට පවතින අනියම් ඇසුරක් නිසා ජපානය හැර ලංකාවට එන්නට මෙම දැරිය තීරණය කළ බවකි. එසේම ඇය පවසන්නේ ඇගේ මව ලංකාවට ආවේ ඇයව සොයන්නටම නොව මවගේ ලාංකික අනියම් ඇසුර පවත්වන්නට බවයි.
පරිවාස භාරයේ සිටින පස්මස් ගැබිණි දැරිය ගුවන් විදුලි නාලිකාවකට මෙසේ කියා ඇත.

“මම කැමැත්තෙන් තමයි ලංකාවේ තරුණයාත් සමඟ ආවේ. මට ගෙදරින් ගොඩක් කරදර සිද්ධ වුණා.
මගේ මව සමඟ සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ඔහුගේ නම කොස්තා. ඔහු මට ගොඩක් අඩන්තේට්ටම් කළා. කිහිප වරක්ම මාව අපයෝජනය කළා.
 මගේ අම්මා සහ ඔහු සමඟ අවස්ථා කිහිපයක් මම සංචාරවලට එක්වුණා. කිහිපවරක් ලංකාවටත් ආවා. ඒ ආපු අවස්ථාවකදිත් මාව අපයෝජනය කළා.
පළමු වතාවට මාව ඔහුගේ අපයෝජනයට ලක්වුණේ මගේ මව්රට වන ජපානයේදියි. ඒ මොහොතේ මගේ අම්මත් සිටියා.
ඔවුන් දෙදෙනාම බීමතින් සිටියේ.
මේ සියලු සිදුවීම් වුණේ මගේ මවගේ අනුදැනුම යටතේයි. මට ආයෙත් ජපානයට යන්න බැහැ. ගියෝතින් මගේ මව සහ ඇය සමඟ සබඳතා පවත්වන කොස්තා නැමති ශ්‍රී ලාංකික පුද්ගලයාගෙන් මට හිරිහැර වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අම්මාව සහ කොස්තාව අත්අඩංගුවට ගන්න කියලා. මම කැමැත්තෙන් තමයි මගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමඟ විවාහ වුණේ. මට ආයෙත් ජපානයට යන්න බැහැ.”
 ඇය පවසා තිබේ.

ජපානයේ අධ්‍යාපනය ලබන අතර අමතර රැකියාවක් ලෙස ධනවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ උද්‍යාන අලංකරණයට සම්බන්ධ සුළු රැකියාවක් කරන අතර මෙම ශ්‍රී ලාංකික තරුණයාට එම නිවසේ වාසය කරන දැරිය ඇසුරු කරන්නට ලැබී ඇති අතර ඒ අනුව පෙම් සබඳතාවයක් ගොඩනැගී තිබුණි. අනතුරුව කාටත් හොරා ඔවුන් ලංකාවට පැනආ බව කියැවුණි.
මෙම දැරිය පැහැරගෙන ආවේ යයි  ජපන් ජාතික මව ලංකාවට පැමිණි අවස්ථාවක කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර කියා සිටියේ ඒ වන විට ඇය සන්ථකව රුපියල් ලක්ෂ 10 ක මුදලක් තිබී ඇති බවත් තරුණයා මුදල් සොරාගැනීමේ අවශ්‍යතාවයට මෙම පැහැරගැනීම සිදු කළ බවයි.
මවගේ පැමිණිල්ල මත සිදුකරන විමර්ශන සඳහා ජපන් තානාපති කාර්යාලයද මැදිහත්වූ අතර මුලදී තරුණයා හා දැරිය අල්ලාගන්නටද හැකියාව ලැබී තිබුණි. අනතුරුව ඔවුන් කොළඹ හෝටලයක නතර කර මවට භාරදෙන්නට සූදානම් කර තිබියදී තරුණයා දැරියද සමග නැවත අතුරුදන්විය.

ඒ අනුව ක‍්‍රියාත්මක වන කොච්චිකඬේ පොලිසිය මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම පිණිස ගතවූ මාස හතක් තිස්සේ විමර්ශන සිදු කළහ.
මෙම තරුණයා සහ 15 හැවිරිදි ජපාන දැරිය පසුගිය 26 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ජපාන දැරිය පරිවාස භාරයට යොමු කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි.
මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තවත් 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමද සිදු විය.
ජපන් ජාතික දැරියගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයාට  බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ඒම, ස්ත්‍රී දූෂණය සහ ස්ත්‍රි දූෂණයකට අදාළව ආධාර අනුබලදීම යන කරුණු මත අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.
ජපානයේ පවතින නීතියට අනුව වයස අවුරුදු 13 ඉක්මවූ දැරියකට සහකරුවෙකු හා ලිංගිකව එක්විය හැකි අතර, වයස අවුරුදු 16 ඉක්මවූ පසු විවාහ වීමටද හැකියාව පවතියි.