දේශපාලනිකව තමන් අභියෝගයක් වනු ඇතැයි යන උපකල්පනයෙන් දේශපාලනිකව තමන් ඝාතනය කිරීමට යහපාලන රජය කටයුතු කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර  තෙන්නකෝන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, 1999 සිදුවූ සිදුවීමකට අදාළව යහපාලන රජය විසින් තමන්ව වැරදිකරු කරමින් ලබාදී තිබූ නඩු තීන්දුවකට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සමට අදාලව ලද තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය 20වැනිදා අභියාචනාධිකරණය විසින් ලබාදුන් මෙම නඩු තීන්දුව මගින් අදාළ වරදින් ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කරන ලදී. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,


"1999 සිදුවූ සිදුවීමක් මුල් කරගෙන තමයි ඊට වසර 18කට පස්සේ බලයට පත්වුණ යහපාලන රජය මේ නඩුව 2015දී ගොනු කරන්නේ. මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේදී එක් දිනක් තුළ පවත්වන ලද ලඝු නොවන නඩු විභාගයෙන් අනතුරුව මේ කාරණය අරඹයාම අධිචෝදනා ගොනු කිරීමක් සිදුකරනවා. මේ නීතිමය ක්‍රියාමාර්ගයම වැරදි එකක්.

අනිත් අතට එකම සිද්ධියකට ගොනු කරපු නඩු දෙකක එකකදී මම විත්තිකාරයෙක් කරද්දි අනෙක් නඩුවේදී විත්තිකාරයෙක් කරන්නේ නෑ.

මේක ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් විදියටයි මම දන්නේ. ඒ වගේම මේ උදවිය බලයට ආපු ගමන් ජනක බණ්ඩාර දේශපාලනිකව ඝාතනය කිරීමට සිදුකළේ දැඩි ලෙස රෝගීව ප්‍රතිකාර ලබමින් උන්න මාව දින 58 අත්අඩංගුවේ තබා ගැනීමට කටයුතු කිරීමයි. මේ සියල්ල තුළ මාව දේශපාලන ගොදුරක් කර ගැනීමට යහපාලනය පිරිස් උත්සාහ කළා. කොහොම වුණත් මේ සියලු දේශපාලන අඩන්තේට්ටම් තුළ මම ස්වාධීන අධිකරණය කෙරෙහි විශ්වාසය තියලයි අභියාචනාධිකරණයට ගියේ. මම හිතපු විදියට මට ලැබිය යුතු යුක්තිය අභියාචනාධිකරණයෙන් පසුගියදා (20 දා) මට ලැබුණි. මෙය සත්‍යය ජය ගත්ත අවස්ථාවක් විදියටයි මම විශ්වාස කරන්නේ" යයි පවසා සිටියේය.

මෙම අවස්ථාවට එක් වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කර සිටියේ, ජනක බණ්ඩාර අමාත්‍යවරයාව දින 58 න් දින 44 ක්ම සිරගත කර සිටියේ මන්ත්‍රී වරප්‍රසාද සියල්ල උල්ලංඝනය කරමින් බවයි. යහපාලන රජය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට සිදුකළ මෙවැනි අසාධාරණ ක්‍රියා නිසා තම පියාට දේශපාලනිකව විශාල අසාධාරණයක් සිදුවූ බවත්, කෙසේ වුවත් මෙම නඩු තීන්දුවත් සමග යහපාලනයේ තවත් නිරුවත් වීමක් සමාජයට නිරාවරණය වී ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
- සාකල්යා සඳමාලී -