ගිරිඋල්ල පොලිස් වසමට අයත් බලගොල්ල නාරංගොඩ ප්‍රදේශයේ සිය නිවසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය ඇඟලුම් කම්හල් සේවිකාවට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.

මියගිය ඇඟලුම් කම්හල් සේවිකාවගේ පශ්චාත් මරණ පරික්ෂණය ඉකුත් 1 වැනිදා කුලියාපිටිය රෝහලේදී පැවැත්වූ අතර මරණය සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන් හේතු නොදක්වා විවෘත තීන්දුවක් ලබාදී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.


ඇඟලුම් කම්හල් සේවිකාවගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය වෙත යැවූ බව පොලීසිය කියයි.

පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා ඇත්තේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා විසිනි.

මෙසේ මියගොස් ඇත්තේ ගිරිඋල්ල පොලිස් වසමට අයත් බලගොල්ල නාරංගොඩ පදිංචිව සිටි ඩබලිව්.ඒ.එන්.ඒ. මධුවන්ති නමැති 24 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාවකි.

ඇය පන්නල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අතර එහිදීද කරන ලද පී.සී.ආර්. පරිණයකදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබිණි යැයි පොලිසිය කියයි.

මෙම ඇඟලුම් කම්හල් සේවිකාව නිවසේ සිටියදී ඉකුත් 30 වැනි දා හදිසියේ රෝගාතුරව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගොස් තිබිණි.

වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ උපදෙස්මත කුලියාපිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගිරිඋල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

 - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -