පානදුර වෙරළ තීරය වෙත පෙරේදා (02දා) ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යැම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව,වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරීන්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, ස්වේච්ඡා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මෙහෙයුමක්  ක්‍රියාත්මක කෙරිණි.  මෙම ගොඩගැසීමේදී වාතයට නිරාවරණය වූ මසුන් 4 ක් මියගොස් තිබුණි.

මේ සඳහා නාවික හමුදා සාමාජිකයන් 30දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ වෙරළ ආරක්‍ෂක යාත්‍රාවක්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ ජීවිතාරක්‍ෂක යාත්‍රාවක්, නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා
බලගණයේ කළුතර ක්ෂණික ප්‍රතිචාර මුදවාගැනීම් හා සහන සැලසීම් ඒකකයට අනුයුක්ත නාවිකයන් 06ක් සහ ජීවිතාරක්‍ෂක යාත්‍රා දෙකක් මෙම මෙහෙයුමට දායක වී තිබේ.


නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නන්ගේ ඉල්ලීම මත ප්‍රදේශයේ ජල ක්‍රීඩා සමාජයක අනුග්‍රහයෙන් සපයන ලද ජෙට්ස්කි යාත්‍රාව උපයෝගී කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරමින් දිවා කාලයේ සිටරාත්‍රී කාලය දක්වා වරින්වර තල්මසුන් නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත ගෙනගොස් දැමීමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සංසිද්ධියේදී තල්මසුන් 4 දෙනකු මියයාම කණගාටුවට කරුණකි.
මියගිය තල්මසුන් 04ක් සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු මේ වනවිට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන බවද නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි. මෙම තල්මසුන් මුක්කරු කොමදුවා’ (Short-Finned Pilot Whale) වර්ගයට අයත් තල්මසුන් බවට හඳුනාගෙන ඇති අතර, තල්මසුන් රංචුවක් මංමුළා වූ එක් තල්මසෙකු පසුපස ගමන් කිරීම හේතුවෙන් මෙලෙස වෙරළට ගොඩගැසීම සිදු වී ඇති බවට විශ්වාස කෙරෙන බවද එම මූලස්ථානය පෙන්වා දෙයි.


 -ඉන්දික හේවාවිතාරණ-