කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් 66දෙනෙකු ඊයේ (16දා) දිනය වනවිට ගත වූ පැය 24ක කාලයක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත්, දැනට ආසාදිතයන් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුළ වෛරස තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.


ගත වූ පැය 24 තුළ ආසාදිතයන් හමු වීම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය 16 අතුරින්, 33දෙනෙකු වන වැඩිම ආසාදිත සංඛ්‍යාව වත්තල බලප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත්, දොම්පෙ 03ක්, ගම්පහ 02ක්, කැලණිය 08ක්, බියගම 05ක්, මීගමුව 11ක්, අත්තනගල්ල, මහර, ජා-ඇල සහ සීදුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයන්ගෙන් එක් අයෙකු බැගින්ද හමුව ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

පසුගිය මස 04 වැනිදා සිට ඊයේ වනවිට කර්මාන්ත ශාලාවලින් හමුව ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව ආයෝජන මණ්ඩල කලාපය (කටුනායක) 451ක්, ආයෝජන කලාපය (බියගම) 21ක් සහ ආයෝජන කලාප නොවන කර්මාන්තශාලාවලින් 325ක් ඇතුළු 797දෙනෙකු හමුව ඇති බවද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 4,788 දෙනෙකු වන අතර, ඊයේ (16) වනවිට පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර ඇති සංඛ්‍යාව 64,603දෙනෙකු බවද හෙතෙම සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ කැලණිය ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලා කිහිපයක පිටතින් ශ්‍රමිකයන් සැපයීමේ සහ නේවාසික කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු නොවීමේ තත්ත්වයක් පවතින බව පෙනී ගොස් ඇති බවද අධ්‍යක්‍ෂ මිගාර ඈපා මහතා පෙන්වාදුන් අතර, එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවද පවසා සිටියේය.

- තිලකරත්න දිසානායක -