අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුව සිටියදී යාචක කොවිඩ් රෝගියකු හමුවීමත් සමඟම අනුරාධපුර නගරයේ සැරිසැරූ යාචක යාචිකාවන් 135 දෙනකු ස්වයං නිරෝධායනයට පෙරේදා (08දා)
සවස යොමුකළ බව අනුරාධපුර නාගරික සෞඛ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති
බණ්ඩාර මහතා පැවැසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ශ්වසන රෝගයක් හේතුවෙන්  එම රෝගියා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි
අවස්ථාවේ
පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව ඔහුට නව කොවිඩ් 19 රෝගය වැලඳී ඇති බවට
අනාවරණයවී තිබිණි.

පසුව අනුරාධපුර පැරැණි පූජා නගරය, මාර්කට් පෙදෙස, බැංකු පෙදෙස, පැරැණි බස් නැවතුම,
දුරගමන් බස් සේවා නැවතුම, නව බස්නැවතුම ඇතුළු ප්‍රදේශවල සැරිසැරූ යාචක පිරිමි පුද්ගලයන් 112ක්
හා යාචක කාන්තාවන් 25 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි.

ඔවුන් අනුරාධපුර, රඹෑව, ගෝනෑව පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන
අතර ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණයන් ඊයේ (09දා) හෝ අද (10දා) දින කිරීමට නියමිතව තිබිණි.
අනුරාධපුර නගරයේ තත්ත්වය සම්බන්ධයෙන් ජේ‍යෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතාගෙන්
දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

කොවිඩ් 19 රෝගය වැලඳී ඇති බවට නොදැන අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 17ට ඇතුළත් කළ
යාචකයා හේතුවෙන් එම  දින (08දා) රෝහලේ වාට්ටුව තාවකාලිකව වසා දැමුවද මේ වන විට එහි
ප්‍රතිකාර කටයුතු නැවතත් සුපුරුදු පරිදි සිදුවේ.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය