ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන එලොන්ස් මස්ක් පසුගියදා COVID-19 සම්බන්ධයෙන් සිදුකර ගත් PCR පරීක්ෂණයකදී මිශ්‍ර ප්‍රතිඵල ලැබී ඇතැයි පවසයි. ඒ අනුව තමා COVID-19ආසාදිතයෙකු දැයි පැහැදිලිවම දැනගැනීම සඳහා ඔහු තවත් පරීක්ෂණයක ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එක්සත් ජනපදයේ ස්පේස් එක්ස්, ටෙස්ලා ඇතුළු තාක්ෂණික සමාගම්හි ප්‍රධානියා වන්නේද එලෝන් මස්ක්ය. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය සහ එලෝන්ගේ ස්පේස් එක්ස් සමාගම එක්ව පසුගිය සිකුරාදා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් සිවු දෙනෙකු රැගෙන යාමේ දෙවැනි මෙහෙයුමද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිනයකින් කල් දැමීමට තීරණය වී තිබේ.
මෙම දියත් කිරීම සඳහා යොදාගන්නා නැවත භාවිත කළ හැකි රොකට්ටුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නැවත සොයා ගැනීමට අපහසුවීම මෙම කල් දැමීමට හේතුව බව පැවසෙයි.

එසේම එලෝන් මක්ස් සම්බන්ධව වාර්තා වූ COVID-19 ආසාදිත තත්ත්වයද මෙම කල්දමීමට තවත් හේතුවක් වන බව විදෙස් මාධ්‍ය පවසයි. මක්ස් සාමාන්‍යයෙන් මෙවැනි මෙහෙයුමක් අවස්ථාවේදී අදාළ රොකට්ටුව දියත් කිරීමේ පරිශ්‍රය වෙත පැමිණ ඒ සඳහා සම්බන්ධ වන ගගනගාමීන් හා මුණ ගැසීම සිදු කරයි. . කෙසේ වෙතත් නාසා ආයතනයේ ප්‍රතිපත්තිය අනුව COVID-19 සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක්විය යුතු බවත්, තවදුරටත් හුදෙකලාවී සිටිය යුතු බවත් නාසා පරිපාලක ජිම් බ්‍රයිඩෙස්ටයින් පවසා සිටියි. ඒ අනුව අදාළ ගගනගාමීන් සහ මස්ක් අතර කිසිදු සබඳතාවක් පැවතියේද යන්න පිළිබඳව පරික්ෂණ සිදුකෙරෙන අතර, මේ දක්වා එවැන්නක් හමුවී නැත. ඒ අනුව ඔවුන් සිවුදෙනා ගමනට සුදුසු මට්ටමේ සිටින බවත් නාසා පවසයි.

මස්ක් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇති ආකාරයට COVID-19 සඳහා සිදුකළ පළමු පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව පෙන්නුම් කළද පසුව සිදුකළ පරීක්ෂණ දෙකම සෘණාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී පළමු පරික්ෂාව ක්ෂණික රැපිඩ් පරීක්ෂාවක් බවත්, දෙවැන්න විද්‍යාගාර පරීක්ෂාවක් බවත් ඔහු පවසයි. එසේම විනාඩි 15ක රැපිඩ් පරීක්ෂාව විද්‍යාගාර පරීක්ෂාවක ප්‍රතිඵලවලට වඩා අඩු සංවේදීතාවක් සහිත බවද මස්ක් මෙහිදී සඳහන් කර ඇත.