ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය වෙත ප්‍රතිචාර දැක්වීමට මෙන්ම ඒ හරහා කඩා වැටී ඇති ගෝලීය ආර්ථිකය යළි නගාසිටුවීමේ කාර්යය සදහාද ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒකාබද්ධ සහයෝගීතාවක අවශ්‍යතාව මතුව ඇතැයි චීන ජනපති ෂී ජින්පිං පවසයි.

ආසියා - ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ (APEC) ප්‍රධානීන්ගේ හමුවට පෙරාතුව එහි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව වෙත වීඩියෝ පණිවුඩයක් ඉදිරිපත් කරමින් චීන ජනපතිවරයා මේ බව පවසා තිබේ. මෙවර APEC සමුළුව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එය අන්තර්ජාල තාක්ෂණය හරහා සිදුකෙරෙන හමුවක් ලෙස සංවිධානය කර තිබේ.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති චීන ජනපතිවරයා, "ලෝකයේ සෑම රටකම පාහේ අවශ්‍යතා එකට බැඳී තිබෙනවා. ඒ වගේම මානව සංහතිය තුළම පවතින්නේ එකම පොදු අරමුණක්. ඒ තමයි, මේ වෛරසය පරාජයට පත්කරමින් ගෝලීය යථාවත්වීම ඉදිරියට ගෙනඒම. මෙතැනදී ජාත්‍යන්තර ප්‍රජාව සමීපව කටයුතු කරමින් මේ අර්බුදයට ප්‍රතිචාර දැක්විය යුතුයි.” යනුවෙන් සඳහන් කර තිබේ.

මේ අතර චීනය සිය නව සංවර්ධන ආදර්ශයන් හරහා ලෝකය වෙත තවදුරටත් විවෘත වන බවද ජනපතිවරයා මෙහිදී පවසා ඇත. ඒ අනුව චීනය සතු දැවැන්ත වෙළෙඳපොළ අවස්ථා සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙත පවතින දායකත්වයන් හරහා ලෝකයට වඩා හොඳ සමෘද්ධියක් ඇති කරගැනීම සඳහා වඩා වැඩි අවස්ථාවන් උදාකරනු ඇතැයිද ඔහු අවධාරණය කර තිබේ.

එහිදී මුල පිරීමක් ලෙස චීනය තීරුබදු කප්පාදු කිරීමකට මෙන්ම, ඉහළ ගුණාත්මක බවින් යුතු භාණ්ඩ හා සේවා සිය රට වෙත ආනයනය පුළුල් කිරීමක් වෙතද යොමුවන බව පවසා ඇත.
එසේ නවෝත්පාදනය මුලික කරගත් සංවර්ධන මොඩලයක් වෙත අදාළ ප්‍රතිසංස්කරණ රැගෙන යන බවත් ජනපතිවරයා සඳහන් කර ඇත.

"ඉදිරීයේදී අපි මේ තීරුබදු සහ ආයතනික පිරිවැය තවදුරටත් අඩු කරනවා. ඒ වගේම ලෝකයේ සෑම රටකින්ම පාහේ සිදු කරන ඉහළ - ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන සහ සේවා ආනයනය වැඩි කරනවා. එහිදී තාක්ෂණික නවෝත්පාදනය හරහා සිදු කෙරෙන ද්විත්ව සංසරණ සංවර්ධන මොඩලයක් හරහා ගුණාත්මක සංවර්ධනයක් ළඟා කරගැනීමට කටයුතු කරනවා." යනුවෙන්ද ජනපතිවරයා මෙම වීඩියෝ පණිවුඩයේ දක්වා තිබේ.