[Trending][btop]
[News][stack]

වසර 13 කට පෙර ශිෂ්‍යත්වෙන් දෙසීය ගත් චාගි භාසුරු දැන් කොළඹ ෆිසිකල් සයන්ස්


පසුගියදා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 න් 200 ම ගත් 10 දෙනෙකු වාර්තාවූ අතර 190-200 අතර ලකුණු ලබාගත් අති විශාල සංඛ්‍යාවක්ද වාර්තා විය. ඒ මේ වසරේ විභාගයේ හැටිය. නමුත් ලකුණු 200 ම ලබාගැනීම අති දුෂ්කර කාර්යයක්ව පැවති සමයෙක මීට වසර 13 කට පෙර 2007 දී චාගි භාසුරු නමැති හොරණ ප්‍රදේශයේ සිසුවෙකු මෙම සමත් කම දැක්වූයේය. ඔහුට දැන් මොකද වෙලා තියෙන්නේ ඔහු දැන් ඉන්නේ අති විශේෂ තැනකද? ආදී ප්‍රශ්න ඇතැමුන්ට පැනනැගී ඇත.
තම දරුවා පාසලකට ඇතුළත් කළ දා සිට ශිෂ්‍යත්ව විභාගයට දෙමාපියන් දරුවන්ට ඇති කරන
අනවශ්‍ය උනන්දුව 'මානසික ගැටලු මතුකරවන්නක් බවටද මේ වනවිට හඳුනාගෙන ඇත. මේ නිසාම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බවටද අනවශ්‍ය තරගය නිසා දරුවන්ගේ ළමා ජීවිතය විනාශවන බවටද තර්ක පැනනැගී ඇත. ශිෂයත්ව විභාගයෙන් ඉහළටම ගිය චාගි බාසුරු ගැන දිවයින පුවත්පත අද දිනයේ පළ කර ඇති ලිපිය පහත පරිදිය.

‘‘වාර්තා තියෙන්නෙ රැකගන්න නෙමෙයි බිදලා තවත් ඉස්සරහට යන්නයි. අද මට හරි සතුටු දවසක්. මීට අවුරුදු 13කට කලින් හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයේ ශිෂයෙක් විදියට 5 ශිෂ්‍යත්වයෙන් ලකුණු 200න් 200 ම ලබාගෙන ලංකාවෙ විභාග ඉතිහාසයේ වාර්තාවක් තබපු මට ඒ වගේම ඒ හැකියාව තිබෙන නංගිලා මල්ලිලා 10 දෙනෙක් අද බිහිවීම සතුටක්.

එසේ පැවසුවේ 2007 වසරේදී හොරණ තක්‍ෂිලා මහා විද්‍යාලයෙන් 5 ශේ‍්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව ලකුණු 200න් 200ම ලබා ගනිමින් ලංකාවේ විභාග ඉතිහාසයේ වාර්තාවක් තැබූ අද වන විට 23 හැවිරිදි වියේ සිටින චාගි බාසුරු වීරකෝන් තරුණ මහතාය.

හොරණ නගරයේ සිට බුලත්සිංහල පාරේ කි.මී. 05 ක් පමණ ගිය විට හමුවන කදන හන්දියෙන් තොටුපළ පාරේ මද දුරක් ගිය විට චාගි වෙසෙන නිවස හමුවේ. අප එහි යන විටත් චාගි සිටියේ ඔන්ලයින් හරහා සිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමිනි.

එන්න මාමලා එන්න. ඇවිත් වාඩි වෙන්න. මං හැමදාම උදේ 8 ඉදන් හවස 5 වෙනකම්ම කැම්පස් එකේ වැඩටික කරන්නෙ ඔන්ලයින් හරහා. ඒක දැන් දින චර්යාව වෙලා.

සිනහමුසු මුහුණින් අපව පිළිගත් චාගි අසුන් ගන්නට අපට ඇරයුම් කළේ අපේ කතා බහට අම්මාව ද කැදවා ගනිමිනි. අපි චාගි සමග මීට වසර 13කට පෙර අතීතයට පියමං කළෙමු. චාගි හ`ඩ අවදි කළේය.

ශිෂ්‍යත්වෙ ලියන කාලෙ මට ලංකාවෙන් එක වෙන්න ලොකු ඉලක්කයක් තිබුණෙ නැහැ. මට ඕනෙ වුණේ හොරණ තක්‍ෂිලාවට යන්න. මේ ප‍්‍රදේශයේ තියෙන හොදම ඉස්කෝලෙට ඇතුල් වෙන්න. චාගිගෙ මව නදීරා අබේරත්න මහත්මිය ගෝවින්න රැටියල ශ‍්‍රී ජිනරතන ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකි. පියා සංජීව වීරකෝන් මහත්මා. පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකි. සිය එකම සොහොයුරිය විදූ වීරකෝන් චාගි අකුරු කළ ආදරණීය තක්‍ෂිලාවේම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන්නීය.

ලකුණු 200 අරගෙන ශිෂ්‍යත්වෙ පාස්වුණ වෙලාවෙ ලැබුණු දේවල් නම් බොහොමයි. මිල මුදල් තෑගි බෝග විශාල ප‍්‍රමාණයක් ලැබුණා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට ලැබුණ තෑග්ග තමයි බොහොම වටින්නෙ.

එදා ජපානයේ ෆුකෝකා නුවර පැවත්වුණ ආසියානු ෆැසිපික් ජාත්‍යන්තර ළමා සමුළුවට සහභාගි වෙලා ලබා ගත්ත අත්දැකීම් නම් බොහොමයි. මාත් එක්ක තවත් ළමයි 8 දෙනෙක් ලංකාවෙන් ගියා. අපි සති දෙකක් ලෝකයේ විවිධ රටවල ළමයි එක්ක සතුටින් ගතකළා. ඒ රටවල යාඑවො තාමත් මට කතා කරනවා. ඇත්තෙන්ම ඒ අතීතය මතක් වෙනකොට තවමත් මට පුදුම සතුටක් දැනෙනවා.

චාගි බාසුරු 2008 අවුරුද්දෙ හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත්විය. ඔහු 2013 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබා ගත්තේ කළුතර දිස්ත‍්‍රික්කයේ 5 වෙනියා වෙමිනි. අනතුරුව ඔහු උසස් පෙළට තෝරා ගත්තේ ගණිත අංශයයි. 2016 උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු බී සාමාර්ථ 3ක් ලබා ගත්තේය.


මට කොළඹ ඉස්කෝලෙකට යන්න ඕන තරම් අවස්ථාව තිබුණා. නමුත් මම කැමති වුණේ ගමේ ඉදන් ඉගෙන ගන්න. තක්‍ෂිලාව වගේ ඉස්කෝලයක් පහුකරලා පැය 3-4ක් කොළඹ ගිහින් එන්න මම කැමති වුණේ නැහැ. මම උසස් පෙළටවත් කොළඹ ගියේ නැහැ. මම ශිෂ්‍යත්වෙන් පළමුවෙනියා වුණා කියලා හැමදාම 6 වසරේ ඉදන් පංතියේ පළමු වෙනියා වුණේ නැහැ. ඒක මට සමාජයෙන් එල්ල කරපු පීඩනයක්. නමුත් පංතියෙ හැමදාම මම 1-2-3 අතර හිටියා. පංතියේ වෙනියා නෙමෙයි වැදගත් වෙන්නෙ. විෂයට ගන්න ලකුණු ප‍්‍රමාණය. චාගි මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය විශේෂවේදී උපාධි අපේක්‍ෂකයකු වශයෙන් තෙවන වසරේ අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබයි. එයට අමතරව ඔහු විශ්වවිද්‍යාලයීය පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස තරගාවලි රැසකට විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වී ඇත.

වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ගේ විභාගයක් නොව මව්වරුන්ගේ විභාගයක් බව බොහෝ දෙනා පවසති. මේ ගැන චාගි දරන්නේ මොනවගේ මතයක් දැයි අපි ඔහුගෙන් විමසුවෙමු. ඇත්තෙන්ම මේක නම් දරුවන්ට ලොකුම පීඩනයක්. අද එක ප‍්‍රශ්න පත‍්‍රයකට ලකුණු 84 ක් ගත්තත් ශිෂ්‍යත්වෙ පාස් වෙන්න බැහැ. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගෙදි නම් නියත ඒ සාමාර්ථයක්. ඇත්තෙන්ම වෙලා තියෙන්නෙ ළමයි ෆේල් වෙලා නෙමෙයි. ලබා දෙන්න පුළුවන් ශිෂ්‍යත්ව ප‍්‍රමාණය අනුව ලකුණු ප‍්‍රමාණය තීරණය වීමයි. මේ ක‍්‍රමය ඇත්තෙන්ම වෙනස් විය යුතුයි. ඒ තරම් ලකුණක් අරගෙනත් දරුවො ෆේල් වුණාට මම දන්නව දෙමව්පියො ඒ දරුවන්ව ෆේල් නොකරන විත්තිය. මේ රටේ වෛද්‍යවරු ඉංජිනේරුවො ඉහළ තනතුරුවල ඉන්න අය අතරින් ශිෂ්‍යත්වෙ ෆේල් වුණ අය කී දෙනෙක් නම් ඉන්නවාද.

ඇත්තටම මේ ෆේල් කියන වචනය කියනවට මම කිසිසේත්ම කැමති නැහැ. මීට අවුරුදු 13කට ඉස්සෙල්ල ශිෂ්‍යත්වෙන් ලකුණු 200 ගත්ත දරුවෙක් හිටිය කියලා දැන් බොහෝ දෙනකුට අමතකත් ඇති. මෙවර ලකුණු 200න් 200ම ගත්ත නංගිලා මල්ලිලා 10 දෙනා නිසා නැවතත් මං ගැන කතාබහ කරන්න පටන් ගත්තා. එදා ප‍්‍රතිඑල ආව දවසේ මගේ සුබපැතුම ජයග‍්‍රාහකයෝ දහ දෙනා අතරෙ පත්තර පිටුවෙ පළවුණාම මටත් ආයෙ ශිෂ්‍යත්වෙ පාස්වුණ දවසෙ ඇතිවුණ සතුටම දැනුණා. පත්තර මාමාලාට බොහෝම ස්තුතියි. මං ගැන නැවත හොයලා බැලූවට.

(සටහන සහ ඡායාරූප - අගුරුවාතොට- මංගල ප‍්‍රසන්න - උපුටා ගැනීම දිවයින - සම්බන්ධීකරණය සිදුකළ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන නිලධාරී - ඉන්දික සංජීව විතාන මහතාට විශේෂ ස්තුතිය)