බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත  රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසීය. අදාළ සැකකරුවන් දෙදෙනා බද්දේගම, නවජනපදයේ හා හික්කඩුව, ගලගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.පසුගිය 11 වැනිදා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ
සිට මොවුන් ඇප ලබා නිවෙස්වලට ගොස් ඇත. එම සැකකරුවන් දෙදෙනා පී.සී. ආර්. පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර, එම පී.සී.ආර්. පරක්‍ෂණවලදී ඔවුන්ට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග  විදඥවරයා පවසා සිටියේය.


ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කළ බවත්, ඔවුන් දෙදෙනාගේ පවුලේ පුද්ගලයන් හා ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. මෙම සිද්ධියත් සමග බද්දේම නව ජනපදයේ ප්‍රජාවගේ පී.සී.ආර්. පරික්‍ෂණ 500ක් හා ගලගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ ප්‍රජාවගේ 200ක් පමණ පී.සී.ආර්.  සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා ප්‍රකාශ කළේය.  මේ අතර පෙර්දා (18දා) කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන බද්දේගම ප්‍රදේශයේ පදිංචි අයෙකුට සහ බළපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්‍ෂණවලදී තහවුරු වී ඇති බවද ඒ මහතා පවසා සිටියේය.  කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බළපිටියේ පදිංචි පුද්ගලයාගේ පවුලේ අයට මීට පෙර කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබූ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.