රෝග ලක්ෂණ පෙන්නුම් කරන බෝගම්බර බන්ධනාගාරයේ සිට පැමිණි කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු ප්‍රතිකාර සඳහා පෙරේදා (08දා) අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කළ බව කැකිරාව සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

එම තරුණයා ඉකුත් දිනවල බෝගම්බර බන්ධනාගාරයේ සිට ඇති බවත්, මේ වන විට එම බන්ධනාගාරයේ
රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවටත් තොරතුරු වාර්තා වේ.


ඒ අනුව රෝග ලක්ෂණ සහිත මෙම තරුණයා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවත්
ආසාදිතයන්ගේ පළමු පෙළ ආසාදිතයන්ද කැකිරාව නගරය ආශ්‍රිතව සිටින බවත් ඔවුන් සිය නිවෙස්වලම
ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල නිලධාරීහු පවසති.

පවතින අවදානම සැලකිල්ලට ගෙන යම් අවශ්‍යතාවක් වෙනුවෙන් කැකිරාව නගරයට පැමිණෙන්නේ නම් දැඩි
ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස කැකිරාව සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජනතාව
වෙත දන්වා සිටී.

මේ වනවිට මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ හා දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සත් දෙනකු හට කොරෝනා රෝගය වැලඳී ඇති බව සඳහන් වේ.

මහනුවර නගර මධ්‍යයේ ඇති පැරැණි බෝගම්බර බන්ධනාගාරය දැනට බන්ධනාගාර ගතවන්නන්

නිරෝධායන කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වා ගෙන යනු ලබයි. එහි නිරෝධායනය වෙමින් සිටි
රැඳවූවන් හය දෙනෙක් හට කොරෝනා රෝගය වැලඳී ඇති බව සඳහන් වන අතර එම රැඳවුවන් සය දෙනා
කොළඹ ඇතුළු විවිධ පළාත්වලින් අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත වූවන්ය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිට දුම්බර නව බෝගම්බර බන්ධනාගාරය වෙත මාරුකොට එවන ලද
රැඳවියකු හටද කොරෝනා රෝගය  වැලඳී ඇති බව පැවැසෙන අතර මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම රෝගීන් සියලු දෙනා කොරෝනා
ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කොට ඇති බවය.

මහනුවර - කේ. එල්. සුරවීර,  මඩාටුගම - ප්‍රසංග ඒකනායක