එක්සත් රාජධානියේ, නෙදර්ලන්තයේ සහ එක්සත් ජනපදයේ මිලියනයකට අධික වැඩිහිටියන් හා ළමුන් අතර දුර්වල නින්ද සම්බන්ධයෙන් සංසන්දනය කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ රටවල් තුනෙහිම පිරිමින්ට වඩා කාන්තාවන්ට නින්ද නොයාමේ ගැටලු ඇති බවයි.



සඳුදා දිනයේදී Nature human behaviour නම් සඟරාවෙහි මේ සම්බන්ධයෙන් තොරතුරු  ප්‍රකාශයට පත් කරන ලදි. මෙම අධ්‍යයනයට අනුව, වැඩිවියට  පැමිණීම තුළ මෙම ප්‍රවණතාව වැඩි වන අතර ඊට “හෝමෝන ක්‍රියාකාරිත්වය, මානසික ආතතිය මෙන්ම වෙනත් විවිධ   සමාජ සාධකද බලපානු ලබයි. කාන්තාවන්ගේ නින්ද නොයාමේ තත්ත්වයන්  වර්ධනය වීමට මේ සියලු සාධක දායක වන බව මෙම අධ්‍යනය මගින් තහවුරු කර ඇත.

එමෙන්ම කාන්තාවන් පිරිමින්ට වඩා නින්ද වෙනුවෙන් ඖෂධ භාවිතා කරන බවද එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. නමුත් දිවා කාලයේදී නින්ද ලබා ගැනීමට ඔවුන් වැඩි වෙහෙසක් නොදරන බවද අනාවරණය වී ඇත.


කෙසේ වුවද මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තුළින් අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ නින්ද සඳහා ගතවන කාලය සහ එහි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් නිර්දේශයන් ඉදිරිපත් කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

වාර්තා වලට අනුව ඇමරිකානුවන් නින්ද නොයාමේ ත්‍යාගය දිනාගෙන තිබෙන අතර තවත් "බූබි ත්‍යාගයක්"(booby prize) ද ඔවුන්ට ලැබී ඇත. එසේම ඔවුන් එක්සත් රාජධානියේ සහ නෙදර්ලන්තයේ පුද්ගලයන්ට වඩා නින්ද නොයාමේ අවදානම අතින් 1.5 සිට 2.9ක වර්ධනයක්ද පෙන්නුම් කරයි.

ඉහත සඳහන් කරන ලද රටවල් තුනෙහිම වෙසෙන වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටියන් හට මෙසේ නින්ද නොයෑම ගැටළුවක් වී ඇත. ඔවුන් බොහෝ විට රාත්‍රියේ පැය නවයකට වඩා වැඩි කාලයක් ඇඳෙහි ගත කරනු ලබන අතර ඊට සාපේක්ෂව වයස අවුරුදු 26 ත් 40 ත් අතර වැඩිහිටියන් නින්දට වැටීමට ගන්නා උත්සාහයන් අවම බව හඳුනාගෙන ඇත.

කාන්තාවන්, දුම් පානය කරන්නන්, අධික බර ඇති පුද්ගලයන්ට බොහෝ විට දුර්වල නින්දක් අත්විඳීමට සිදුවන බවද අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

නමුත් වයස අවුරුදු 14 ත් 17 ත් අතර ළමුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වෛද්‍යවරයන් නිර්දේශ කළ කාලයට වඩා අඩුවෙන් නිදා ගන්නා බවද වාර්තා වලින් හෙළි වී ඇත. කෙසේ වෙතත්  ළමයින් වැඩෙත්ම නින්ද නොයෑමේ රෝග ලක්ෂණ වැඩි විය හැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

මෙම අධ්‍යයන වාර්තාව සමස්තයක් වශයෙන් ගත් කල, ඉහත ජාතීන් තුනටම  නින්ද නොයාමේ ගැටළු  බහුලව ඇති බව දක්නට ලැබී තිබේ. එසේම ඔවුන්ට ඇත්තේ දුර්වල නින්දක් බවද ඔවුන් හඳුනාගෙන ඇත.

මෙම අධ්‍යයනය සඳහා එක්සත් ජනපදය,
එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවලින් මිලියන 1.1 ක ජනතාවකගේ නින්ද පිළිබඳ විවිධ සසඳා බැලීම් සිදුකර ඇත.

කෙසේවුවද මෙම අධ්‍යයනය සමගින් මේ සඳහා අප කළ යුත්තේ කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් ද ඔවුන් යම් පැහැදිලි  කිරීමක් සිදුකර ඇත.


එහිදී සති අන්තයේ පවා සෑම දිනකම දළ වශයෙන් එකම වේලාවක අවදි වන ලෙසත්, මානසික ආතතිය අඩු කිරීමට සහ නින්ද වැඩි දියුණු කිරීමට නිතිපතා ව්‍යායාම කිරීම යහපත් බවත්,  දිනපතා ඇවිදීම වැනි කරුණු ද ඒ සඳහා  උපකාරී වන බවත්, නින්දට යාමට ආසන්න කාලයේදී මේද හෝ කුළුබඩු සහිත ආහාර අනුභව නොකරන ලෙසත්, නින්දට පෙර අවම වශයෙන් පැය හතරකට පෙර අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් වළකින ලෙසත්, දුම් පානය නොකරන ලෙසත්,
දිවා කාලයේදී මිනිත්තු 45 කට වඩා නින්ද නොයෑමට වගබලා ගත යුතු බවත් ඔවුන් සඳහන් අධ්‍යනය හරහා පෙන්වා දී ඇත.

එමෙන්ම නිදන කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සියලුම ශබ්ද අවහිර කර අනවශ්‍ය ආලෝකයන් ඉවත් කර, දුරකථන සහ ලැප්ටොප් ආදියද ඉවත් කර නින්දට යාම සුදුසු බවත් ඔවුන් පෙන්වා දී ඇත.