කෝවිඩ් - 19 වෛරස ආසාදිත රෝගීන් එකවර 17දෙනෙකු අටුලුගම ප්‍රදේශයෙන් හමු වීමත් සමගම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් අටක් ඊයේ (22දා) හුදෙකලා කිරීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම රෝගීන් ප්‍රමාණයක් සමගම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

අටුලුගම නැගෙනහිර, අටුලුගම බටහිර, කොරාවල, ගන්ගේ මණ්ඩිය, බමුණුමුල්ල 659 සී, බමුණුමුල්ල 659 ඩී, බෝගහවත්ත හා එපිටමුල්ල ග්‍රාම සේවා වසම් අටක් මෙහිදී හුදෙකලා කෙරිණි. මේ වනවිට එම ග්‍රාම සේවා වසම්වලින් හමු වූ ආසාදිතයන්ගේ සහ කලින් හමු වූ ආසාදිතයන් සිවුදෙනාගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර ඇති අතර, පුද්ගලයන් දෙසිය දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ ලැබීමට තිබෙන බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.


ඊට අමතරව ඊයේ (23දා) අටුලුගම බමුණුමුල්ල තයිබර් උත්සව ශාලාවේදී තවත් පුද්ගලයන් දෙසිය දෙනකුගේ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

බණ්ඩාරගම, අටුලුගම ග්‍රාම සේවා වසම් අටක් හුදෙකලා කිරීමත් සමගම එම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුර කපොලු දහයක් ස්ථාපිත කළ බව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.

අටලුගම නැගනහිර, අටලුගම බටහිර කොරාවල ,ගල්ගේ මන්ඩිය ,බෝගහවත්ත , බමුණුමුල්ල 659 සී ,බමුණුමුල්ල 659 ඩී, ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි පොලිස් මුර කපොලු ස්ථාපිත කර ඇත.

එම ග්‍රාම සේවා වසම්වලට ඇතුළුවීමට නොහැකි ලෙස හා එම ගම් ග්‍රාම සේවා වසම්වලින් පිටතට පැමිණීමට නොහැකි ලෙස ආරක්ෂාව තර කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

ඊට අමතරව අටලුගම ගම්මානයට පිවිසීමට තිබෙන කිම්මන්තුඩාව ප්‍රදේශයේ ඇළ මාර්ගයටද පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටුව යොදවා තවදුරටත් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

සෞඛ්‍යය අංශවලින් සහ පොලීසියෙන් ලබාදී තිබෙන නීතිරීතිවලට මෙන්ම නිරෝධායන නීතිවලට ගරු කර කෝවිඩ් -19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස අටුලුගම ප්‍රමුඛ බණ්ඩාරගම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.


මේ අතර බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ පුද්ගලයන් 90දෙනෙකුගේ පී. සී. ආර්. වෛද්‍ය වාර්තා සියල්ලම වෛරස ආසාදනය වී නොමැති බවට ( negative ) ඊයේ (22දා) වාර්තා වූ බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

මිල්ලනිය පෞද්ගලික ආයතනයකින් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණවලින් අනතුරුව ඉකුත් 17 හා 18 දෙදින තුළ අටලූගම ප්‍රදේශයෙන් පුද්ගලයන් සිවුදෙනකුට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය. ඔවුන් කෝවිඩ් -19 දෙවැනි රැල්ලේ ප්‍රථම ආසාදිතයන් සිවුදෙනා බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය. එම දින දෙක තුළදී පුද්ගලයන් 135 දෙනෙකු පී. සී. ආර්. පරික්ෂණයට භාජනය කෙරිණි.

එයින් 17දෙනකු පමණක් ආසාදිතයන් වූ බවත් මේ වනවිට අටලුගමින් හමු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21 බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
 - සුනිල් එස්. තන්ත්‍රීආරච්චි -