ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවමින් ප්‍රථම වතාවට කාන්තාවෝ දෙදෙනෙක් ගුවන් නියමුවරියන් ලෙස පත්ව සිටිති. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු ගුවන් නියමුවරියන් ලෙස මෙසේ පත්ව ඇත්තේ ආර්.ටී. වීරවර්ධන සහ ඒ.ඩී.පී.එල්. ගුණරත්න කාන්තාවන් දෙදෙනාය. මෙම ගුවන් නියමුවරියන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැළඳවීම චීන වරාය විද්‍යා පීඨ කඳවුරේ දී ඊයේ (15) සිදුකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
වසර 69ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් දෙදෙනාගෙන් වීරවර්ධන ගුවන් නියමුවරිය සෑම අතින්ම ඉ අති දක්‍ෂ කැඩෙට් නිලධාරිනිය ලෙස රන් අසිපතින් මෙහිදී පිදුම් ලැබුවාය. සෑම අතින්ම අති දක්‍ෂ කැඩෙට් නිලධාරිනියක ලෙස කාන්තාවක් තේරුණේද ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වතාවට වීමද සුවිශේෂී සිද්ධියකි.
මෙම ගුවන් නියමුවරියන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැළැඳවීමේ උත්සවය පවත්වනු ලැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස මෙම දෙදෙනා ගුවන් සේවයට එක් වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

Comments
Post a Comment
Your comment will be visible after approval