මාතර, වැලිගම, වරකපිටිය ප්‍රදේශයේ ගුරුවරියක් විසින් තම දරුවා පැහැරගෙන ගොස් ඇති බවට එම දරුවාගේ දෙමාපියන් විසින් වැලිගම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. මෙසේ අතුරදන්ව ඇත්තේ වැලිගම, වරකපිටිය විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වරකපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රමෝද් චතුරංග (අවු.15) නමැති සිසුවෙකි.

පසුගිය 6වනදා නිවස ආසන්නයේ උපකාරක පන්තියකට සහභාගි වීමෙන් අනතුරුව මේ වන තෙක් සිසුවා ගැන කිසිඳු තොරතුරක් වාර්තා නොවන බව දෙමාපියන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. 

මේ සම්බන්ධව අදහස් දැක්වූ දරුවාගේ මව වන එස්. පී.වයි. ගීතානි (35) මහත්මිය,

"අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා.

පුතාට වයස අවුරුදු 15යි, දුවට අවුරුදු 8යි. දැන් තියෙන කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක දරුවන් පිට පත්තිවලට යවන්න බැරි නිසා ගෙදර ඉඳන් මීටර් 400ක් විතර දුරින් ගෙදරක තියෙන පන්තියකට දුවයි පුතයි දැම්මා. මේ සිදුවීම සිදු වූ දවසේ දුවයි පුතයි පන්තියට 2.15ට විතර ගියා. මධුමි කියන මිස් ප්‍රශ්න පත්‍රයක් දීලා තිබුණා. ඊට පස්සේ පුතා නංගිට කියලා තියෙනවා පොතක් අමතක වුණා, ගෙදර ගිහින් අරන් එන්නම් කියලා ගෙදර ඇවිත් තියෙනවා. මිසුත් ළමයින්ට ප්‍රශ්න පත්‍රය දීලා ගෙට ගිහින් තියෙනවා. පස්සේ අපේ දුව ඇවිත් කිව්වා, අපේ අයියා ගෙදර ආවා පොතක් ගෙනියන්න කියලා තාම ආවේ නෑ. මිසුත් ගෙදර නෑ කියලා කියනවා ඒ නිසා ගෙදර ආවා කිව්වා. මම දුවගෙන ගිහින් බැලුවා පුතත් නෑ. මධුමි මිසුත් නැහැ. ඒ ගෙදර අම්මයි, තාත්තත් හෙව්වා. මේ දෙන්නා නැහැ. පස්සේ මම මගේ මහත්තයට කෝල් කරලා වැලිගම පොලීසියට ගිහින් පැමිණිලි කළා. නමුත් තවමත් පුතා ගැන ආරංචියක් නැහැ. පුතාව රවටගෙන පැහැරගෙන ගියා කියලා තමයි අපි හිතන්නේ. මගේ පුතාව දැකපු කෙනෙක් ඉන්නව නම් ලඟම තියෙන පොලීසිය දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.”

මෙම සිදුවීම සම්බන්ධව වැලිගම පොලීසියෙන් කළ විමසීමකදී පැවසුවේ, දරුවා පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත්, මේ සම්බන්ධව දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත්ය.

- මහේෂ් මලවර ආරච්චි -