කොරෝනා වයිරසය වෙස්වළාගෙන ආ ආශිර්වාදයක් බවත් වයිරසය තමන්ට ආසාදනය වූයේ දෙවියන්ගේ කැමැත්තට අනුව බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (8) පැවැසීය.  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වයිරස ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය 1 වැනිදාය. දෙවැනිදා ඔහු හමුදා වෛද්‍ය  මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරුණේ සෙම්ප්‍රතිශ්‍ය සහ උණ රෝගී තත්ව හේතුවෙනි. කෙසේ නමුත් පසුගිය 5 වැනිදා ට්‍රම්ප් යළි ධවල මන්දිරය බලා පැමිණියේ වයිරසය පරාජය කළ බව පවසමිනි. ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි ද ඊයේ (8) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, තවදුරටත් ට්‍රම්ප් කොරෝනා ආසාදිතයකුට නොවන බවත්,  සිරුරේ වයිරස විෂබීජ නොමැති බවත්ය.

ට්‍රම්ප් මෙන්ම වෛද්‍ය කොන්ලි ද තහවුරු කර ඇත්තේ ට්‍රම්ප්ට කොරෝනා මර්දනය කළ හැකි පර්යේෂණ මට්ටමේ පවතින විශේෂ ඔසුවක් ලබා දුන් බවය.  ‘වෛද්‍යවරුන් රිජෙනෙරොන් නමැති ඖෂධය මට දුන්නා. ඒක දිව්‍ය ඖෂධයක් බවට සැකයක් නැහැ. මා ඉක්මණින් සුවය ලැබුව රිජෙනෙරෝන් නිසයි. රිජෙනෙරාන් ඖෂධය මා සියලුම ඇමෙරිකානුවන්ට නොමිලේ ලබා දීමට කටයුතු කරනවා' යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය එවිටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කළ වීඩියෝ පණිවුඩයේ සඳහන් වෙයි. රිජෙනෙරොන් ගැන මා කල්තියා දැන සිටියා, මට කොරෝනා වයිරසය ආසාදනය වූ අවස්ථාවේ, මා මගේ වෛද්‍යවරයාට කිවා ඖෂධය මට දෙන්න. තවමත් අත්හදා බැලීම් සිදුවන බැවින් මා එය ලබා ගත්තේ මගේ කැමැත්තට අනුවයි. මා අවදානමක් ගත්තා. මා ඇමෙරිකානුවන් සියලු දෙනාට
රිජෙනෙරෝන් ඖෂධය නොමිලේ දීමට කටයුතු කරනවා යැයි ජනපතිවරයා පොරොන්දුවක් ද විය.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ වේගවත් සුවවීමට හේතුව ඔහුට ලබා දුන් රිජෙනෙරොන් ඖෂධය යැයි වෛද්‍ය කොන්ලි ද මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. රිජෙනෙරොන් යනු ඇමෙරිකා රිජෙමනෙරොන්’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් කොරෝනා වයිරසයට එරෙහිව නිපදවමින් පවතින, සායනික අත්හදා බැලීම් අවසන් නොකළ පර්යේෂණ මට්ටමේ ඔසුවකි. දැනට නිර්මාණය වෙමින් පවතින කොරෝනා එන්නත්වලට වඩා මෙය වෙනස්ය. කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට පමණක් නොව, කොරෝනා ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීම  රිජෙනෙරොන් ඖෂධයේ අරමුණය.

‘රිජෙනෙරාන් ලබා දීම කළ යුතු වන්නේ එක් වරක් පමණක් බව ද පැවැසෙයි. තවමත් අත්හදා බැලීම් සිදුවන බැවින් මෙම ඖෂධය ගැන දන්නේ කිහිප දෙනකු පමණි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනුන්නේ පසුගිය පළමු වැනිදාය. 74 හැවිරිදි ට්‍රම්ප් ඇතුළත් කෙරුණේ වෝල්ටර් රිඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයටය. රෝහල්ගත කිරිමට පෙර ධවල මන්දිරයේ දී, ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි, “රිජෙනෙරොන්' ඖෂධය ට්‍රම්ප්ට ලබා දුන්නේය. ඒ, සෙලයින් ලබා දෙන අතරතුරේදීය. ට්‍රම්ප් රෝහල් ගත කිරීමෙන් පසු "රෙම්ඩෙසවියර්" නමැති ඖෂධය ලබා දීම සිදුවිය.

රෙම්ඩෙසවියර් යනු ඉබෝලා වයිරසයට එරෙහිව නිපදවා ඇති ඖෂධයයි. කොරෝනා වයිරස ආසාදිත රෝගීන් ඉක්මණින් සුවපත් කිරිමට රෙම්ඩෙසවියර් සමත් වන බව පැවැසෙයි. ඊට අමතරව, සින්ක්, විටමින් ඩී,  මෙලටොනින්, ෆැමොටිඩීන් සහ ඇස්ප්‍රීන් ට්‍රම්ප්ට ලබා දී ඇත. වෛද්‍ය මධ්‍යස්ථානයට යොමු කරද්දී, ට්‍රම්ප්ට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ තිබුණු බවත්, ස්වසන අපහසුතා තිබුණු බවත් පැවැසිණි. පරේෂණ මට්ටමේ පවතින රිජෙනෙරොන් ඔසුව මෙතෙක් ලබා දී ඇත්තේ ඇමෙරිකානුවන් 275 දෙනකුට පමණි.