හොරණ, මීමන, දඹරගොන්නේ පිහිටි නිවසක සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක නරියකු විසින් ඩැහැගැනීමට තැත් කිරීමේදී මව ක්ෂණිකව ක්‍රියාත්මක වී දැරියව ගැනීමත් සමගම නරියා දැරියගේ කකුලක් සපාකෑම නිසා පෙරේදා (7) සවස හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හොරණ, මීමන, දඹරගොන්න ගෙදර වත්ත පදිංචි ජාතකී සුලක්ශනා දැරියයි. වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පලායමින් සිටි නරියා කොටුකර පහර දී මරා දමා ඇත.  තුවාල ලද දැරිය වයස අවුරුදු පහ සහ හතරක් වත සිය අක්කා සහ අයියා සමග නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි දැරියගේ පියා වන එන්.එච්.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසීය.

දරු තිදෙනා සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මව මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිට ඇතැයි ද මේ දිනවල එම ප්‍රදේශයේ නරි උවදුර පැතිරීම හේතුවෙන් නිවසේ දොර වසාගෙන සිටින ලෙස තම බිරිඳට පවසා තිබූ බවද චන්ද්‍රසිරි මහතා කීය.  දරු තිදෙනා නිවසේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේදී දොර වසා නො තිබී ඇති අතර නරියා නිවස දෙසට එනු දුටු වසර 5 ක් වයසැති වැඩිමල් දරුවා මුළුතැන්ගෙට දිව ගොස් අම්මේ නරියෙක් වගේ එකෙක් ගෙවල් පැත්තට එනවා' යැයි මවට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක

වූ එම මව නිවසේ සාලය වෙත දිවවිත් එහි සිටි දැරිය වඩා ගැනීමට සැරසීමත් සමගම නරියා එකවරම උඩ පැන දැරියගේ දකුණු කකුල සපා කා තිබූ බව චන්ද්‍රසිරි මහතා අප හා කීය .

ඒ සමගම මව දරුවාත් වඩාගෙන මහ හයියෙන් කෑ ගසමින් නාන කාමරය වෙත දිව යාමත් සමඟම අසල්වාසීන්ට එම ශබ්දය ඇසී නිවසට පැමිණ නරියා සෙවීමේ දී නරියා කාමරයක සිට නිවෙසින් පිටතට පැන පලා ගොස් තිබිණි. මෙම සිද්ධිය සැලවීමත් සමගම නිවසට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි දැරියගේ පියාගේ ඇගට ද අතරමගදී නරියා පැන ඇති අතර මහත් වෑයමක් දරා උගෙන් බේරි නිවසට පැමිණ දරුවා රෝහල්ගත කිරිම සඳහා රැගෙන ගිය බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.  දරුවා සපා කා පලායමින් සිටි නරියා සොයා ගම්වාසීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඌ කොටුකර පහර දී මරා දමා රෝහලට රැගෙන ගොස් එහි පැමිණි වනජීවී නිලධාරින්ට භාර දී  තිබිණි.

හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය. නරියා සපාකෑමෙන් තුවාල වූ දැරියට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර එන්නත් පවා දුන්නා. වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටු අංක 14 වෙත යොමු කර තිබෙනවා. නියෝජ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ඉන්දික ධර්මරත්න මහතා ඇතුළු  වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලයේ දැඩි අවධානය එම දරුවා කෙරෙහි  යොමු කර තිබෙනවා. නරියාට ජලභීතිකා රෝගය වැළඳී ඇති දැයි යන්න සෙවීමට නරියාගේ හිස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යැවීමට පොලිසිය හා මහජන සෞඛ්‍ය පරිකවරුන් කටයුතු කරගෙන යයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)