රුසියාව මඟින් නව කොරෝනවට එරෙහිව නිෂ්පාදනය කළ ස්පුට්නික් v එන්නත වෙනිසියුලාව, තුළ අදා බැලීම දැන් අරඹා ඇතැයි වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ පවසා සිටියි. ඒ අනුව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු 2,000ක් යොදා ගනිමින් මෙම කටයුතු සිදු කරන බව ජනපතිවරයා සඳහන් කරයි. ඔවුන් අතර සිය පුත්‍රයා මෙන්ම සහෝදරියද වන බව ඔහු පවසා ඇත.


මේ අතර රුසියානු එන්නතට අමතරව චීනය මඟින් නිපදවූ කොරෝනාවට එරෙහි එන්නතද තම රට වෙත ගෙන්වා ගන්නා බව මදුරෝ පවසා තිබේ. එහිදී මේ එන්නත්වල අත්හදා බැලීම් අවසන් වී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඊට අවසරය ලබාදීමත් සමඟ එරට සමස්ත ජනගහනය වෙතම එය ලබාදීම ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම කටයුතු ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන ජනාධිපතිවරයා එය ඉක්මන් වන්නේ නම් වඩාත් යහපත් බවත් පවසයි.

පසුගිය මාසයේදී වෙනිසියුලාව මෙම එන්නත අත්හදා බැලීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි පුද්ගලයන් 2,000ක් සෙවීම ආරම්භ කළ අතර, එහිදී ඔවුන් වයස අවුරුදු 18ට වැඩි වීම, අතෙහි කිසිඳු පච්චයක් කොටා නොතිබීම සහ මේ දක්වා කිසිඳු ශ්වසන රෝගී තත්ත්වයකට ගොදුරු වී නොතිබීම යන මූලික සුදුසුකම් පරික්ෂා කර තිබේ.