ඊයේ රාත්‍රියේ සිට මොරටුව,පානදුර හා හෝමාගම යන ප්‍රදේශවලට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. මෙලෙස ඇඳිරිනීතිය පනවන්නට හේතුවූයේ එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් වැඩිපුර වාර්තාවීමද යන සැකය ජනතාවට පැනනැගී ඇති නමුත් යුද හමුදාපතිවරයා අද උදෑසන ඒ ගැන වෙනස් විදිහේ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් සොයා කළ PCR පරීක්ෂණවලට අනුව මොරටුව ප්‍රදේශයේ පරීක්ෂණවලට අනුව 42 දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ වාර්තා වීම

එම ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට හේතුවූ බවට ඔහු කරුණු දක්වන අතර මොරටුව ආසන්නයේ පිහිටි පානදුර ප්‍රදේශයෙන් ආසාදිතයන් වාර්තා නොවුනද එම ප්‍රදේශයට වෛරසය පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පානදුර උතුර සහ දකුණ පොලිස් බලප්‍රදේශවලට ද ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව ඔහු කීය.

 හෝමාගම ප්‍රදේශයේ ජන ඝනත්වය වැඩිනිසා ඉන් විවිධ ප්‍රදේශවලට ආසාදිතයන් පැතිර යාමේ අවදානම සලකා එලෙස හෝමාගමට ඇඳිරි නීතිය පැනවූ බව දන්වා ඇත.

ඇතැම් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේද ආසාදිතයන් වාර්තාවීමට හේතුව එම ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පුද්ගල සංචරණයන් සිදුවීම බව හදුනාගෙන ඇතැයි ඔහු කීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ ඇතුළු සියලුම පාර්ශවයන් හි උපදෙස් සහ ඉදිරියේ සිදුකෙරෙන සාකච්ඡා මධ්‍යයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ඔහු සඳහන් කළේය.