"සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුර මගේ ගණන් බැලීම අනුව 20I9 අප්‍රේල් එකොළොස් වැනිදා වන විටත්‍ පහළොස් දහසක පමණ පිරිසක් දැනගෙන සිටියා” යැයි හිටපු රාජ්‍ය බුද්ධ ප්‍රධානී නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ( 09) පැවසීය.  රටේ තීන්දු තීරණ ගත යුත්තන් කිසිවෙක් එය දැන සිටියේ නැතැයි දැන් පවසන බව ද ඔහු කීය.   ජයවර්ධන මහතා මෙසේ පැවසුයේ පාකු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

“තානාපති කාර්යාල පවා දැනගෙන සිටි ඒ කාරණය රටේ තීන්දු තීරණ ගත යුතු ප්‍රධානීන් පමණක් දැන සිටියේ නැතැයි කියනවා. ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරින් දැන සිටි කාරණාව මැති ඇමතිවරුන්ට නොකියා සිටියා ද යන්න  හිතාගත නොහැකි "

යැයි ද නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරිණ. එහිදී විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරෙහි වැදගත් පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන්ව තිබිය දී ඒ ගැන පල්ලිවලට දැනුවත් කිරිමට කටයුතු නොකළේ ඇයි ද යන්න සම්බන්ධයෙන් නීතිඥ ශමිල් පෙරේරා කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළේය.

තමන්ට ලැබුණු තොරතුර පොලිස්පතිවරයාට යොමු කළ පසු ඔහු එය  පොලිස්  විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, ප්‍රභූ ආරක්ෂක අංශයට, රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දුන්නේ නම් එම අංශ යටතේ සේවය කරන නිලධාරින් සලකා බැලූ විට පහළොස් දහසක පමණ පිරිසක් දැන සිටින්නට ඇතැයි විශ්වාස කරන බව ජයවර්ධන මහතා පැවසීය. මීට අමතරව එදින තානාපති කාර්යාලවලින් ද තමන් අමතා මේ තොරතුර කුමක්දැයි විමසා සිටි බව ද ඔහු කීය. “පොලිසියේ මෙපමණ පිරිසක් දැන සිටි තානාපති කාර්යාලත් දැනගෙන සිටි කාරණය අපේ රටේ තීන්දු තීරණ ගත යුත්තන් දැනගෙන සිටියේ නැහැ කියනවා. මං දන්නේ නැහැ ඒක  කොයිතරම් දුරට ඇත්ත ද කියලා. අන්තිමට සියල්ලේ වැරදි කාරයා නිලන්ත” යැයි ද ඔහු පැවසීය.

-මුදිතා දයානන්ද-