බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දෙහිවල ජංගම රථය හා වෛද්‍ය කාර්යමණ්ඩලය, දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව පසුගිය 23 වැනි දින දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 90කින් 70ක වාර්තා ඊයේ (26දා) ලැබී ඇති බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.පී. අජිත් සංජීව මහතා පවසා සිටී. 


ඒ අතරින් 'කෝවිඩ්-19' වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව 8දෙනෙකු තහවුරු වී ඇති බවත්, එකී වාර්තා අනුව පෑලියගොඩ  මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධව සිටි වෙළෙඳුන් හා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් හා ඔවුන් 08දෙනාගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනා ඒ ඒ නිවාසවලම ස්වයං නිරෝධායනය කිරීමටත්, ආසාදිතයන් 8දෙනා කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව සෞඛ්‍ය සේවා ගිලන් රථ මගින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් කටයුතු කරනු ලබන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී. 

මෙම කටයුතු සඳහා දෙහිවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික කුලවර්ධන, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.පි. අපිත් සංජීව, කේ.සී.ආර්. කෞශල්‍ය රුක්ෂාන්, විලාජ් ප්‍රභාත් ප්‍රියංකර කුමාර යන මහත්වරුන් ඇතුළු තවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුඳ එක්ව සිටියහ.

- එච්.එම්.ධර්මපාල -