සෑම දිනකම මුවඟ සිනාවක් රඳවාගෙන කාර්යාලයට පැමිණ, දහසකුත් වැඩ අතරේ පීඩාකාරී බව අමතක කර ඒ සිනාව දවස පුරාම මුවඟ රඳවාගෙන වැඩකරන්නට යම් අයකුට හැකි නම් ඒ මහත් වාසනාවකි. එවන් කාර්යාලයක වැඩකරන සැම සේවකයකු මෙන්ම එවන් කාර්යාලයකින් වැඩක් කරගන්න පැමිණෙන අය ද වාසනාවන්තයන්ය. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම එවන් සුන්දර සිනාවකින් දවස පුරවන දයාබර පරිපාලන නිලධාරිනියකි.

එහෙත් සුන්දර සිනාවෙන් හා ආදරණිය වදනින් සැම ඇමතූ නදී ජයවික්‍රම හදිසියේම සියලු දේ අතරහැර ජීවිතයෙන් සමුගත් බව ඇසීම පවා හද සලිත වන පුවතක් විය. එම කණගාටුදායක ආරංචිය සැමට අසන්නට ලැබුණේ ඉකුත් සිකුරාදා (23) දිනයේදිය.

මාධ්‍යහ්නයට ආසන්න වෙමින් තිබිය දී මාතර නගරය ප්‍රමුඛ අවට ප්‍රදේශවල පැතිර ගිය මේ පුවත ඇසූ සැම සිත් කම්පිත වන බවක් පෙනුණේ මෙම නිලධාරිනියගේ සුහදශීලී බව නිසාමය.

අභියෝගය හමුවේ නොසැලෙන, තම වගකීම අකුරට ඉටුකිරීමට කැපවුණ, තම නිලධාරීන් වෙනුවෙන් නිතර කැපවුණ හා දුටු දුටුවන්ගේ නෙතු පිනවන රූ සපුවකට හිමිකම් කියූ කාර්යශූර පරිපාලන නිලධාරිනියක වූ නදී තත්සරණි ජයවික්‍රමගේ හදිසි නික්ම යාම මුළු දිස්ත්‍රික්කයටම පිරිමැසිය නොහැකි පාඩුවක්ව තිබුණේය.

පල්ලිමුල්ල ලිද පාරේ පදිංචිව සිටි නදී ජයවික්‍රම සිය කුළුදුල් දරු ප්‍රසූතිය සදහා සූදානම් වෙමින් සිටියදී ඇය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත් ගාල්ල මහමෝදර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලබා දුන් උපදෙස් අනුව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කීපයකට සහභාගී වීම සඳහා මාතර නගරයේ පිහිටි මොහොට්ටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාව වෙත ගොස් තිබුණේ 23 දින උදෑසනය. ඒ ඇයගේ මව හා පියා සමඟය.

ආහාර නොගෙන රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ G.T.T පරීක්ෂණය සඳහා පළමු රුධිර සාම්පලය ලබාදී ඇති නදී එහි ප්‍රතිඵලය සාමාන්‍ය මට්ටමේ පැවතියෙන් එහි දෙවන පරීක්ෂණය සඳහා රසායනාගාරයෙන් දෙන ලද උපදෙස් පරිදි අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ජලයේ දියකර පානය කිරීමෙන් පසු නැවත පැයකින් රුධිරය ලබාදීමේ අරමුණෙන් තම මෝටර් රථයට ගොස් පැයක පමණ කාලයක් රැඳී සිටී ඇත.

නියමිත කාලය ගෙවා දැමූ නදී නැවත දෙවැනි රුධිර සාම්පලය ලබාදීම සඳහා රසායනාගාරයේ රුධිර සාම්පල එක්රැස් කිරීමේ ඒකකයට යාමේ අපේක්ෂාවෙන් සිය මව සමඟ ආරෝග්‍ය ශාලාවේ පිවිසුම් දොර අසලට ලඟාවෙමින් සිටියදී හිටිහැටියේ ඇද වැටීමට යාමත් සමග මව හා අවට සිටි පිරිසේ මැදිහත්වීමෙන් වැටීමට නොදී වලක්වාගෙන ඇත.

එම සිදුවීම වන අවස්ථාවේ මොහොට්ටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ වෛද්‍යවරයකු නොසිටි බැවින් රෝගී වූ නදී වහා ඒ ආසන්නයේ පිහිටි මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් එහි හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

“නදී ජයවික්‍රම මාතර මහ රෝහලේ හදිසි ප්‍රතිකර ඒකකයට ඇතුළත් කරන විටත් ඇයගේ හෘදය අකර්මණ්‍ය වී තිබුණු බව තමයි අපේ වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී තිබෙන්නේ. ඒ සමඟම අපේ වෛද්‍යවරු ලොකු උත්සාහයක් ගෙන තිබෙනවා හෘදය නැවත යාථා තත්වයට පත්කර ගන්න. ඒත් කොතරම් උත්සාහ කළත් පලක්වී නැහැ” මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක පැවසුවාය.


නදීගේ හදිසි මිය යාමත් සමඟ සමාජය හා සමාජ මාධ්‍ය මගින් චෝදනා එල්ල වෙමින් තිබුනේ රුධිර පරීක්ෂණය සිදුකර තිබූ පෞද්ගලික රෝහල තම වගකීම නිසි ලෙස ඉටුකර නොතිබූ බවටයි.

“අපි මේ වගේ පරීක්ෂණ ඕනෑ තරම් සිදුකර තිබෙනවා. අපි කිසි දින ග්ලූකෝස් අපෙන් ලබා දෙන්නේ නෑ. නියමිත ප්‍රමාණය රැගෙන එන්නේ පරීක්ෂණයට එන අයමයි.

මේ සිදුවීමේදීත් අදාළ තැනැත්තිය ග්ලූකෝස් ඖෂධ ශාලාවකින් ගෙනැවිත් රසායනාගාර සේවකයන්ගේ උපදෙස් පරිදි එය දියකර පානය කර තිබෙනවා. මෙවැනි පරීක්ෂණයක් අවස්ථා තුනක් ලෙසයි සිදු කරන්නේ.

එහි පළමු පරීක්ෂණය සාමාන්‍ය වෙලා තමයි ඇය දෙවැනි පරීක්ෂණයට එලෙස සූදානම්වී තිබෙන්නේ. එයත් සිදු කරගන්න හැකි වූවා නම් නැවත තවත් පැයකින් පරීක්ෂණයක් සිදු කරනවා.

එහෙත් හදිසියේ ඇය රෝගී වීම නිසා ඉක්මණින් මාතර මහ රෝහලට ගෙනගොස් තිබෙනවා. තත්ත්වය එලෙස වුවත් විවිධ අරමුණු වෙනුවෙන් විවිධ චෝදනා කිරීම සාධාරණ නෑ” පරීක්ෂණය සිදු කළ මොහොට්ටි ආරෝග්‍ය ශාලාවේ සේවකයකු පැවසුවේය.

වේදනාත්මක, චෝදනාත්මක හා කල දුටු කළ වල ඉහ ගැනීමේ ක්‍රමවේද යටතේ පැතිර ගිය විවිධ කටකතා හා සමාජ මාධ්‍ය වාර්තා පෞද්ගලික රෝහල් වල තරගකාරීත්වය මනාසේ පෙන්නුම් කළ අතර එය ඔවුන්ගේ ප්‍රවර්ධනයට ද සූක්ෂම අයුරින් යොදාගන්නා ආකරය මේ තුළ දක්නට ලැබුණු විශේෂ අවස්ථාවක් විය.

මාතර සුජාතා බාලිකා විදයාලයේ ආදි ශිෂ්‍යාවක වන නදී ජයවික්‍රම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය මියයන විට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසර නීති ශිෂ්‍යාවක් ද වූවා ය.

2012 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිස ඇති නදී ජයවික්‍රම සිය මුල් පත්වීම ක්‍රීඩා අමාත්‍යංශයේ ද පසුව 2013 වර්ෂයේ වැලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස පත්ව එහි සේවය කර ඇත.

2016 වර්ෂයේ තිහගොඩ සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වූ නදී ජයවික්‍රම තම කැපවීම හා දක්ෂතා පෙන්වමින් ජනතා සේවයේ නිරතව සිටියදී එම දක්ෂතා නිසාම 2017 වර්ෂයේ සිට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස පත්වීම් ලැබ අභාවප්‍රාප්ත වනතුරුම එහි සේවය කරමින් සිටියාය.

“සෘජු තීරණ ගත් හා කාර්යාල සේවක සේවිකාවන් සමඟ සුහදශීලීව වැඩ කළ කෙනෙක් තමයි අපේ නදී මැඩම්. දිස්ත්‍රික් ලේකම් තුමා සමග සෘජුවම සම්බන්ධවෙන්න හැම සේවකයකුටම බෑ. අන්න ඒ වේලාවල් වලදී මැඩම් පුදුම විදියට කැපවෙලා දිස්ත්‍රික් ලේකම් තුමා හමුවෙලා ඒ වැඩ කඩිනමින් සිදු කිරීමට පියවර ගත්තා.

ඇය අපේ අංශය සමග සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කළ නිසා මම මේ ගැන හොදින්ම දන්නවා. කේෂ්ත්‍ර නිලධාරීන්ට තම රාජකාරිය නිසිලෙස ඉටුකරන්න නදී මැඩම්ගෙන් ලැබුනේ උපරිම සහායක්. ඇය ඉතා හොද නිහතමානී පරිපාලන නිලධාරිනියක්” මාතර දිස්ත්‍රික් ආපදා සහනසේවා සම්බන්ධීකාරක අනුජන්ත විදානගේ පැවසීය.

“අපි යම් රාජකාරියකට කාර්යාලයට ගියාම නදී ජයවික්‍රම සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය අපිට බොහොම හොඳට සුහදශීලීව අවශ්‍ය සහාය ලබාදෙනවා. යම් වැඩසටහනකට, රැස්වීමකට ගියත් ඇයගේ මනා කැපවීම අපි දැක තිබෙනවා. ජනතාව වෙනුවෙන් කැපවුණ නිහතමානී නිලධාරිනියක්. එවැනි කෙනෙකු ඉක්මණින් මේ ආකාරයට නික්ම යෑම සමාජයට ලොකු පාඩුවක්”

මාතර මාධ්‍යවේදියෝ ක්‍රියාකරී සාමාජික රුහුණු ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදක අමිත් කරුණාරත්න එසේ පැවසීය


තම ආයතනයේ රාජකාරි කටයුතු වෙනුවෙන් උපරිමයෙන් කැපවුණ සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම යම් රෝගී තත්වයකින් සිටියදී ඇය ඒ පිළිබද කිසිවකුට නොකියා රාජකාරි කටයුතු සිදු කරද්දී ඇයගේ මුහුණේ ඉරියව්, කතා විලාශය නිරීක්ෂණය කළ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක ඇය තුළ ඇති තෙහෙට්ටුව හා ශාරීරික වෙනස්වීම් කල්තියා හොඳින් හඳුනා ගත්තේය. ඒ ඔහු කාර්යාල කළමනාකරණයේ ලද හසල අත්දැකීම් සමඟය. ඒ සමග ප්‍රදීප් රත්නායක මහතා නදී ජයවික්‍රමට යෝජනා කළේ නිවාඩු ගෙන විවේක ගන්නා ලෙසයි. එහෙත් ඇය තම රාජකාරිය ඉටුකිරීමට කැපවූවාය.

“අපිට කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් කෙනෙකු සිටියේ නෑ. ඒ අතර නදී ජයවික්‍රම අපේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය අපේ කාර්යාලයට එකතුවුණේ ඇය තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස බොහෝම හොඳින් වැඩකර තම දක්ෂතා පෙන්වමින් සිටියදී. ඇය වැඩකරපු හැම තැනම ඉතා හොඳින් වැඩකර තිබෙනවා. ඒ නිසා තමයි අපේ කාර්යාලයට ඇය ගත්තේ. සේවයට පැමිණි දා සිට හොද කැපවීමෙන් වැඩකළා. ඒක මට ලොකු ශක්තියක් වුණා. ජනතාවට සේවයක් වුණා. ඇය අභියෝග වලට බයනැතිව මුහුණ දෙන නිලධාරිණියක්.

ඇයගේ හදිසි නික්මයාම අපේ කාර්යාලයට පමණක් නොවෙයි මුළු දිස්ත්‍රික්කයටමත් පරිපාලන සේවයටත් ලොකු පාඩුවක්” මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක කීවේය.

සිය කුලුදුල් දරු ප්‍රසූතිය සදහා සූදානම් වෙමින් සිටියදී හදීසියේ මිය ගිය මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී තත්සරණී ජයවික්‍රම(35ගේ ශරීරයෙන් ලබා ගන්නා ලද කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වැඩි දුර පරීක්ෂණ පවත්වා මරණයට හේතුව පසුව ලබා දෙන බව ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න දන්වා තිබුණි. ඒ අනුව මරණ පරීක්ෂණය සිදු කළ මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී. එම්. ලලිත් ද සිල්වා මරණයට හේතුව ලැබෙන තෙක් තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීය.

රැකියාව ලද දිනයේ සිට සේවයට කැපවූ නදී ජයවික්‍රම රටට සමාජයට ඇයගෙන් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටුකොට තිස්පස් වසරක සිය ජීවිතය ද, අට වසරක රාජකාරි ජීවිතය ද නිමා කරමින් 24 දින සන්ධ්‍යාවේ මාතර පොදු සුසාන භූමියේදී සමුගෙන ගියේ සිය දයාබර සැමියාගේ, දෙමාපියන් සහෝදර සහෝදරියන් හා සහෝදර සේවක සේවිකාවන් ඇතුළු දහසකුත් නෙත් සිත් කඳුළේ ගිල්වමිනි.

• ජයසිරි පේදුරුආරච්චි