මිරිහාන පොලිස් ස්ථානයේ භෝජනාගාර සැරයන්වරයකුට කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් මිරිහාන පොලිසියේ බැරැක්කයක් තාවකාලිකව වසා දමා  ආශ්‍රිතයන් හැට හත් දෙනකු ස්ථාන දෙකක දී ඊයේ (25) නිරෝධායනයට යොමු කළ බව ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා පැවැසීය.

පොලිස් භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට එම නිලධාරියා පෑළියගොඩ මාළු වෙළෙඳසැලට ගොස් ඇති අතර වෙළෙඳ සලේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම නිලධාරියාට ද සිදුකළ පී.සී.ආර්.

පරික්ෂණයේ දී ඔහු ද ආසාදිතයකු ලෙස
තහවුරු වී ඇති බව ඒ මහතා පැවැසීය. මෙම ආසාදිත නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය ප්‍රතිකාර ඒකකයකට යොමුකර ඇති අතර ඔහුගේ පළමු ආශ්‍රිත එකොළොස්දෙනකු ද දෙවැනි ආශ්‍රිත තිස් දෙනකු ද තුන්වෙනි ආශ්‍රිත විසිපස් දෙනකු ද හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කළ බව ඒ මහතා පැවැසීය.

ආසාදිත නිලධාරියා මහරගම ප්‍රදේශයේ තාවකාලික නවාතැනක සිට මිරිහාන පොලිසියේ රාජකාරි සිදුකර ඇති අතර ඔහු ආනමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද වෛද්‍යවරයා පැවැසීය.

මේ වන විට ඔහු කටයුතු කළ බව තියන බැරැක්කය වසා දැමීමට පියවර ගෙන ඇති අතර මිරිහාන පොලිස් පරිශ්‍රය සම්පුර්ණයෙන් ජීවානුහරණය කිරීමට කටයුතු කළ බව මනෝජ් මහතා පැවැසීය. නිරෝධායනය සඳහා යොමු කළ නිලධාරින් හැට හත් දෙනාම පරික්ෂණ සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරපති අයි.ඒ.වී. ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා සහ ප්‍රධාන මහජන සෞඛ්‍යය පරික්ෂක මාලිංග ජයවර්ධන, සෞඛ්‍ය පරික්ෂක ළහිරු කරුණාරත්න යන නිලධාරින්ගේ මෙහෙයවීමෙන් මිරිහාන පොලිසිය විෂබීජානුහරණ කටයුතු සිදු කරනු ලැබීය.