පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳසල ආශ්‍රිතව, කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් හමුවූ ‘මට්ටක්කුලිය සමිට්පුර' මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හයදහසක් පමණ පිරිස මට්ටක්කුලිය,

සමිට්පුර මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන අතර යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ මෙම හුදකලා කිරීම සිදුකර ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙහි ජීවත්වන පිරිස් අවට ප‍්‍රදේශවලට සංචරණය කිරීම නවතා දැමීම සඳහා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ආරම්භ කළ බවත්, එම මහල් නිවාසය වටා පොලිසිය මෙන්ම යුද හමුදා සාමාජිකයින්  රැකවල් යොදා ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

එසේම, මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළට අනුව බලූමැන්ඩල් සහ කොටහේන යන ප්‍රදේශ සම්බන්ධයෙන් ද විශේෂයෙන් නිරික්ෂණය කරමින් සිටින බවද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳසල ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 120කට වැඩි සංඛ්‍යාවක් හමුවී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

(නිමන්ති රණසිංහ)