ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඔහුගේ මවුපියන්ගෙන් තේ, පොල් වගා කළ ඉඩම් අක්කර එකසිය හැත්තෑ හතරක (174) ප්‍රමාණයක් තිබූ අතර ඒවා පිළිබඳ අනාවරණය වුවත් ඔහුගේ එම වත්කම් බැරකම් මෙම විමර්ශනය සඳහා අදාළ කර නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා ඊයේ (15දා) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

 එසේම විත්තිකාර අමාත්‍යවරයා විසින් විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම ප්‍රශ්නගත ලක්ෂ තිස් නවයක මුදල ණය මුදලක් ලෙස ලබාගෙන ඇති බවත් එම මුදල මාස තුනක් තුළ නැවත පියවා ඇති බවටත් අනාවරණය වූ අතර ඒ අනුව මෙම ගනුදෙනුවේ කිසිදු වරදක් වංචා සහගත බවක් නොපෙනෙන බවත් විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සඳහන් කර සිටියේය.
මෙම විත්තිකාර අමාත්‍යවරයාට සිය මවගෙන් රත්නපුර අක්කර 97 ඉඩමක් හා පියාගෙන් නාවලපිටියේ අක්කර 44 ඉඩමක් හා තේ කර්මාන්තශාලාවක් ඇතුළු තවත් දේපළ උරුමව තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වුණේ දැයි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසමින් විමසා සිටියේය.

 විමර්ශනවලදී ඒ පිළිබඳව අනාවරණය වුවත් මෙම නඩුවේ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාගේ එම වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බවත් එම වත්කම් බැරකම් මෙම නඩුවට අදාළ කර නොගත් බව සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම වෘත්තීය සමිතියට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක සාක්ෂි විභාගය අතරතුර සාක්ෂිකරු මෙලෙස අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. 

 එම මුදල් ගනුදෙනුව එම සමිතියේ විධායක කමිටුවේ නිසි අනුමැතිය ඇතිව විධිමත් අයුරින් සිදුකරන ලද ගනුදෙනුවක්ද එහි යම් වරදක් තමන් දකින්නේ දැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසමින් විමසා සිටියේය. විත්තියෙන් විමසූ පැනයට සාක්ෂිකරු නිසි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කළ විනිසුරුවරයා විත්තිය විසින් ඇසු එම හරස් ප්‍රශ්නයම නැවත සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එම ගනුදෙනුවේ වරදක් තමන් නොදකින බව ප්‍රකාශ කර සිටියේය. එම වෘත්තීය සමිතියෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නඩුවට පාදක වූ රුපියල් ලක්ෂ තිස් නවයක මුදල ණයක් ලෙස ලබාගෙන ඇත්තේ විධිමත් ක්‍රමවේදයන්ට අනුකූලව බවත් එම ගනුදෙනුවේ කිසිදු වරදක් තමන් නොදකින බවත් එහි කිසිදු වංචාවක් නොමැති බවට පෙනී යන බවත් සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

 එම සමිතියේ මුදල් අවභාවිත කර ඇති බවට එම වෘත්තීය සමිතියේ සාමාජිකයන් හෝ නිලධාරීන් විසින් පැමිණිලි කර තිබුණේ ද යන්න විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සක්ෂිකරු වෙත හරස් ප්‍රශ්න ඉදිරිපත් කර සිටියේය. සමිතියේ මුදල් අවභාවිතයක් සිදුවී ඇති බවට එහි නිලධාරීන් හෝ සාමාජිකයන් මේ දක්වා පැමිණිලි කර නොමැති අතර ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රිවරයකු ලෙස හා දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ වසන්ත සමරසිංහ මහතා පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටි බවත් සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා අධිකරණය හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසා සිටියේය.

 මෙම නඩුවේ පැමිණිලිකරු වන වසන්ත සමරසිංහ මහතා විසින් 2015 ජනවාරි 30 වැනි දින ලිඛිතව විත්තිකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ බවත්, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. 


 එම අවස්ථාවේදී යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේදී ඔහුට එල්ලවී ඇති චෝදනා කුමක් දැයි නිශ්චිතව කියවාදී ඔහුව අත්අඩංගුවට ගත යුතු බව පිළිබඳව තමා දන්නේ දැයි විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
එකී සමිතියට අයත් මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය පිළිබඳ චෝදනා කියවා දී 2016 සැප්තැම්බර් මස 15 වැනි දින විත්තිකරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේය. බොරැල්ල කින්සි පාරේ පිහිටි නිවෙසක් රුපියල් මිලියන විසි හතක මුදලක් වැය කර මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ කියා තමන් පිළිගන්නේ දැයි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසා සිටියේය. එය තමා පිළිගන්නා බව සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ පැවැසීය.


 විත්තිකරු විසින් එම නිවාස මිලදීගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ඔහුට ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය වෙනත් අයකුට අලෙවි කිරීමෙන්ද නැතහොත් පාර්ලිමේන්තුවේ පිහිටි ලංකා බැංකු ශාඛාවෙන් රුපියල් මිලියන දහයක ණයක් ලබාගෙන දැයි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සක්ෂිකරුගෙන් විමසා සිටියේය. විත්තිකරු විසින් එම වාහන බලපත්‍රය අලෙවි කළාද නැතහොත් ගෙන්වන ලද වාහනයක් අලෙවි කළා දැයි තමන්ට මේ වන විට නිශ්චිත මතකයක් නොමැති බවත්, බැංකු ණයක් ලබාගත් බව මෙයට එම වාහන බලපත්‍ර අලෙවි කර රුපියල් මිලියන විසි හයක මුදලක් විත්තිකාර අමාත්‍යවරයා ලබාගෙන ඇති බව ජාලිය ගුණසේකර නමැති පුද්ගලයා විසින් ලබාදුන් ප්‍රකාශවල සඳහන් වන බව සාක්ෂිකරු අධිකරණය හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියේය. 

 විත්තිකාර අමාත්‍යවරයා නොකළ වරදක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයන් සිදුකර විත්තිකරුව අපහසුතාවට පත්කිරීම උදෙසා මෙම නඩුව ගොනු කර ඇති බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතා එසේ සිදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව ප්‍රකාශ කර සිටියේය. 


 ඉදිරි නඩු දිනයේදී පැමිණිල්ලේ නඩුව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ පැවැසීය. ඒ අනුව පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්ති ප්‍රකාරව සිය සේවාදායකයා සියලුම චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කර නියෝගයක් නිකුත් කරන ලෙසට විත්තිය විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දැන්විය. 


 පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා හා ජේ‍යෂ්ඨ අධිනීතිඥ නදී සුදුරුගොඩ මෙනවිය අධිකරණය හමුවේ පෙනී සිටියහ. විත්තිකාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජේ‍යෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ, නීතිඥ ශාලික ගුණවර්ධන හා නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මස 05 වැනි දින නැවත කැඳවීමට විනිසුරුවරයා නියම කළේය. 


 හංසි නානායක්කාර