මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි.

පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය.

පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මහරගම, පමුණුව පාරෙන් හැරී යන සුභසාධක මාවතේ පිහිටි ඔහුගේ වත්මන් බිරිඳගේ නිවසේ තැන්පත් කර තිබිණි. 

එහිදී සුනිල් සමරසිංහ නමැත්තා ඊයේ (21දා) දින මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා,


"අද මෙලෙස උඩුකුරුව සැතපී සිටින මධුෂ් කියන්නේ වසර නමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කැරලි සමයේදී පොලිස් වෙඩි පහරකින් මියගිය කාන්තාවකගේ පුතෙක්. පියා දෙවැනි කසාදයක් කර ගත් පසු මාත් මගේ සොහොයුරියගෙත් රැකවරණය මත සාමාන්‍ය පෙළ විභාගය දක්වා උගත් තරුණයෙක්. ඔහු ව්‍යාපාරයක් කරගෙන නිහඬ දිවියක් ගත කරද්දී දිනක එකල මාතර ප්‍රාදේශීය දේශපාලකයෙකු වූ ඩැනි හිත්තැටිය මහතාගේ මස්සිනා කෙනෙකු සිය යතුරුපැදියේ ඉදිරිපස ටයරය මධුෂ්ගේ පය මතින් රැගෙන ගියා. එවිට මධුෂ් ඔහුගෙන් ඇසුවෙ "ඔහේගෙන් මට වරදක් වුණා. ඒකට සොරි කියන්නවත් ඔහේට මනුස්සකමක් නැතෙයිද" කියලා විතරයි. ඩැනී හිත්තැටිය ඒකට උත්තර දුන්නේ, ඒ වන තෙක් සාන්තුවරයෙකු වගේ හිටිය මධුෂ් සොයාගෙන ඇවිත් පහර දීමෙන්.

ඩුබායි රටෙහි සිට රහස් පොලීසියේ භාරයට පත් වූ මධුෂ් පුතා වසර එකහමාරක් ඔවුන් යටතේ හිටියා. ඔහු තමන් සමඟ දේශපාලන සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනා ගැන හෙළි කළේ "මත්ද්‍රව්‍යවලින් සහ පාතාලයෙන් තොර රටක් බිහිවනු දැකීමට මධුෂ්ටද ඕනෑකමක් තිබූ නිසයි. ඒත් ඒ හෙළි කිරීම මධුෂ්ගේ මරණය අබිරහස් ලෙස මෙසේ ඉක්මන් කළාදැයි මට සාධාරණ සැකයක් තිබෙනවා.

තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයක් කළ කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළා නම්, නොමග ගිය මධුෂ් පුනරුත්ථාපනය කරන්න රජයට යුතුකමක් තිබුණා.

මගේ මධුෂ් පුතා නොමග ගියේ සිරගෙදරදී සහ දේශපාලකයන් ඇසුරු කිරීමෙන්. ඔහු හෙළි කළ දේශපාලන සම්බන්ධතා රටේ සියලුම මාධ්‍යය වෙත හෙළි කරන්න කියා මා පොලීසියට අභියෝග කරනවා." 

සිය මව මියගිය පසු කුඩා කල සිටම මධුෂ් හදාවඩා ගත් ඔහුගේ මවගේ සොයුරිය අමරාවතී සමරසිංහ මහත්මියද මෙහිදී සිය වේදනාව මාධ්‍ය වෙත පළ කර සිටියාය. 

එසේම මහරගම පොලීසියේ නිලධාරින් මධුෂ්ගේ දේහය එම නිවසට රැගෙන ඒමෙන් පසු විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි. මාකඳුරේ මධුෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (21දා) සවස මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකරනු ලැබිණි.

- අමිල සංකල්ප -