සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක‍ෙරුමකු බව කියන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තා වසර ක පමණ කාලයක් පසුවූයේ රහස් පොලිස් බාරයේය.  ඩුබායි සුපිරි හෝලයක ඔහුගේ දරුවාගේ පස්වෙනි උපන්දිනය සැමරීම වෙනුවෙන් පැවැති සාදයක් අතරතු‍ර මධුෂ් එරට පොලිස් අත්අඩංගුවට පත්වන්නේ පසුගිය වසරේ පෙබරවාරී මාසයේ 05 වැනිදාය.  ඒ වසරේම මැයි මාසයේ 05 වැනිදා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මධුෂ් රහස් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ කටුනායක ගුවන් තොටුපොළේ දීය. රහස් පොලිස් බාරයේ වසරක පමණ කාලයක් පසුවූ ඔහු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දුන්නේ පසුගිය සිකුරාදාය.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ  නිලධාරීන්ගේ බාරයට ගත් මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරක ප්‍රතිඵලයක් වශයෙන්ම කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු

වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන හෙරොයින් මත්කුඩු කිලෝ 10 ක් ද සොයා ගැනිණි.  මේවා සොයාගත්තේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ ගිය පොලිස් කණ්ඩායමක් විසිනි.

පරික්ෂණ කටයුතු මුල සිටම සිදුකෙරුණේ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේය.  පොලිස් කණ්ඩායම් මාකඳුරේ මධුෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කළේ මත්ද්‍රව්‍ය තවත් තොග සඟවා ඇති තැන් තිබේ නම් ඒ ගැන තොරතුරු දැනගැනීමටය. 

 සර් තවත් හෙරොයින් තොගයක් මාලිගාවත්ත ලක්සිරි සෙවණ ස්කීම් එකේ ගෙදරක සගවා තියනවා.  එකේ 10වැනි තට්ටුවේ ගෙදරක තමා ඒවා සගවා තියන්නේ. මේ තිප්පොළ කංජිපානි ඉම්රාන්ගේ පොට් එකක්. ඉක්මනට ගියොත් කුඩු විතරක් නෙමේ කට්ටියත් අල්ලගන්න පුළුවන්. පාන්දර යාමයේ තමා කට්ටිය එතැනට එන්නේ." පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මාකඳුරේ මධුෂ් එසේ පවසා ඇති බව දැනගැනීමට ඇත.  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඒ කුඩු තිප්පොළ සොයා ගියේ මාකඳුරේ මධුෂ් ද කැටුවය. මාකඳුරේ මධුෂ් නමැත්තා ද ඉස්සර කරගෙන පොලිස් කණ්ඩායම නිවාස සංකීර්ණයේ දහවැනි මහල දක්වා ගමන් කරන්නට වුයේ පියගැටපෙළ දිගේය.

ඒ වෙනකොට අලූයම 3.30ට පමණ වෙමින් තිබිණි. මාකඳුරේ මධුෂ් ඉස්සර කරගෙන තරප්පු පෙළ දිගේ ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායම දෙවැනි මහලට ගොඩවුවා පමණි පොලිස් කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආකාරයේ සිද්ධියකට මුහුණපෑමට සිදුවිය. දෙවැනි තට්ටුවේ තැනක සැඟවී සිටී දෙදෙනකු පොලිස් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමට පටන්ගත් නිසාය ඒ.  පොලිස් කණ්ඩායම ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමට පටන් ගැනීමත් සමගම පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට  පටන්ගත්තේ ඔවුන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙනි.  දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව සිදුන අතරවාරයේ පොලිස් බාරයේ සිටි මාකඳුරේ මධුෂ් නමැත්තා පොලිස් බාරයෙන් මිදී පලා යෑමට උත්සාහ කර ඇති බව කියති.

මාකඳුරේ මධුෂ් නමැත්තා වෙඩිකා බීම ඇදවැටුණේ ඒ අවස්ථාවේය.‍ ඒ අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට ද වෙඩි වැදී බිම ඇදවැටී ඇත. පොලිස් කණ්ඩායමට වෙඩි තබමින් නාඳුනන දෙදෙනකු පලා යද්දී පොලිස් නිලධාරීන් ද ඔවුන් දෙදෙනා අල්ලා ගැනීමට ලූහුබැඳ ගොස් තිබේ.  බෙත්තාරාම ක්‍රීඩාංගණය අසලින් වැටි ඇති මාර්ගය ඔස්සේ යතුරුපැදියකින් පලා යමින් සිටී පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු අත්බොම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ ලූහුබැඳ එන පොලිස් කණ්ඩායමේ ගමන නැවැත්වීමට විය යුතුය. පුපුරා ගිය බෝම්බයේ කැල්ලක් වැදීමේන් තවත් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.


පොලිස් කණ්ඩායම වෙඩි තබා බෝම්බ ගසා පලා යාමට උත්සාහ කළ මොහොතේ ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පෙරළී ගොස් ඇත. යතුරුපැදිය අතහැර දමා ඔවුන් පලාගොස් තිබිණි. මද දුරක් පාගමනින් දිවගොස් පසුව වාහනයක නැගී ඔවුන් පලායන්නට ඇති බවට පොලිසිය සැක කරයි.  වෙඩිකෑ මාකඳුරේ මධුෂ් ද තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ද කඩිනමින් කොළඹ ජාතික රෝහලව ගෙන ගියහ.

වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා මාකඳුරේ මධුෂ් මියගොස් ඇති බව දැනුම් දී ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.  පාතාල ලෝකයේ ගෝඩ්ෆාදර් ලෙස කිරුළු පැළදිව සිටි මාකඳුරේ මධුෂ් අවසන් ගමන් ගියේ  අවිගත්තෝ අවියෙන්ම  නැසෙති යන කියමන සනාථ කරමිනි.  

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය