කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (5) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
මෙම සේවිකාවන් දෙදෙනා එම ඇඟලුම් කම්හලේ ප්‍රථමයෙන්ම වාර්තා වූ සේවිකාව සමීපව ඇසුරු කරන ලද අය බව පැවසේ.



මොවුන් නාරම්මල, ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකාරියෝ වෙති.

මොවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහල වෙත යැවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මොවුන් දෙදෙනාට අමතරව මේවනවිට එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සමීපව ඇසුරු කරන ලද තවත් පුද්ගලයන් සිවු දෙනෙකු ද පීසීආර් පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.

(පුෂ්පකුමාර ජයරත්න)