නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 

 එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80හැවිරිදි පුද්ගලයෙකිි. අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ.
කෙසේවෙතත් මනමාල මහතා ආසාදිතයෙකු වූ බව දැනගත් වහාම අදාළ මරණකරුගේ නිවසේ සියලුම දෙනා ස්වයංනිරෝධායනයට ලක් කර ඇත. 

එසේ නිරෝධායනය වෙමින් සිටියදී අද (21) අලුයම පැවති රෝගාබාධ තරමක් උත්සන්නව නිවසේදීම මියගොස් සිට ඇත. ඔහුගේ මරණයට හේතුව කොරෝනා වෛරසයදැයි පීසීආර් තුළින් තවම අනාවරණයවී නැත. 

එම මෘතදේහය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප ඇතුලු පිරිසකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් කුලියාපිටිය විවිධසේවා සමූපකාර සමිතියේ වාහනයක් භාවිතයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයට ප‍්‍රවාහනය කරවීමට එම සමිතියේ සභාපතිවරයා කටයුතු කර තිබූ අතර දේහය ප‍්‍රවාහනය කිරීමෙන් පසුව රථය හා රියදුරු විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කරනු ලැබිය.