කඩවත ප්‍රදේශයේ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති ව්‍යාපාරිකයෙකු දින තුනක කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් රැසකට පැමිණ ඇති බවට පෙරේදා (25දා) රාත්‍රියේ අනාවරණය වූ බව දඹුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසීය. කඩවත, ගෝනවන්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ගමන් කළ තැත් පිළිබඳ හෙළි කිරීමෙන් පසු මේ බව අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 


මෙම පුද්ගලයා පසුගිය 20 වැනිදා මහර ප්‍රදේශයේදී පී.සී.ආර්. පරික්‍ෂණයට මුහුණදී වාර්තාව ලැබෙනතුරු නිවස තුළ රැදීසිටින්නයි උපදෙස් ලබාදී තිබියදී පසුගිය 22, 23, 24 යන දිනවලදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ එළවළු සහ අල, ලූණු මිලදී ගෙන ඇති බව ප්‍රකාශ කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

අදාළ පුද්ගලයා පෙරේදා (25දා) දින කඩවත සිට ලොරියකින් දඹුල්ලට ගමන් කරමින් සිටියදී මැල්සිරිපුර ප්‍රදේශයට ළඟාවන විට ඔහු ආසාදිතයෙකු ලෙස තොරතුරු ලැබී ඇති බවත්, ඒ අනුව ඔහු නැවත පිටව ගොස් ඇති බවත් ප්‍රියත්ත ද සිල්වා මහතා පැවසිය. 

මෙම පුද්ගලයා පී.සී.ආර්. පරික්‍ෂණය සිදුකරගෙන ඇත්තේ, ඔහු පසුගියදා පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් ඇති නිසා බව හෙතෙම ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවස්ථා දෙකකදී පුද්ගලයන් දෙසීයකට ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකළ බවත්, එම දෙසිය දෙනාම කෝවිඩ්19 ආසාදිතයන් නොවන බවට වාර්ත වී ඇතැයිද ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසීය. 

මෙම ආසාදිත පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගමන් කළ වෙළෙඳසැල්වල සිටින පුද්ගලයත් පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා යොමු කරන බවද හෙතෙම පවසා සිටියේය.

 - එස්. කරුණාරත්න -