කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්ගුගත  ප්‍රධාන පෙළේ සමාගමක් වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව, එහි අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග ගත් බව එම සමාගම පවසයි.

පසුගියදා සිය සමූහයට අයත් එකිනෙකට වෙනස් ස්ථානවල පිහිටි සමාගම් කිහිපයක් ආශ්‍රිතව සිදු කළ අහඹු PCR පරීක්ෂණවලදී මෙලෙස ආසාදිතයන් 9 දෙනෙකු

හමු වූ බව සමාගම සඳහන් කරයි. ඒ අනුව දැනටමත් ඔවුන් සියලු දෙනාම රජය මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමක්ද සිදු කර තිබේ. මෙහිදී සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට වෛරසය ආසාදනය වන්නට ඇත්තේ බාහිර සම්ප්‍රේෂණයක් හරහා බවට සමාගම විශ්වාසය පළ කරයි.

“මෙම ආසාදිතයන් 09 දෙනාගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සමාගම දායකත්වය ලබා දුන්නා. ඒ වගේම වැඩි අවදානමක් පවතින බවට සැක කෙරෙන අනෙකුත් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහාද PCR පරීක්ෂණ සිදු කළා. මීට අමතරව බලධාරීන් විසින් දැනට ලබා දී ඇති නිවේදනයට අනුව මෙම ආසාදිතයන් සමගින් ඍජු සබඳතා පවත්වා ඇති සේවකයන් සියලු දෙනාම ස්වයං – නිරෝධායනයට ලක් කර තිබෙනවා.” සමාගම පවසයි.

මේ අතර ඔක්තෝබර් මාසය ආරම්භයේ සිටම සමාගම අත්‍යවශ්‍ය මෙහෙයුම් සඳහා සම්බන්ධ පිරිස් හැර අනෙකුත් සේවකයන් සඳහා නිවසේ සිට රාජකාරි කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් පවසයි. එසේම සිය සේවකයන් සමීපව නිරීක්ෂණය සඳහා සැම විටම මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් සහ වසංගත රෝග විද්‍යා ඒකකය සමගින් කටයුතු කළ බවත් ඔවුන් සඳහන් කරයි.

“මේ අවිනිශ්චිත කාලසීමාවේදී අපේ මූලික අභිප්‍රාය වෙන්නේ අපගේ සියලුම කොටස්කරුවන්ගේ යහ පැවැත්මයි. ඒ සඳහා බලධාරීන් නිකුත් කර ඇති සියලුම උපදෙස් අප පිළිපදිනවා.” එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.