මීගමුවේ ප්‍රසිද්ධ පාසලක විභාග මධ්‍යස්ථානයේ විහාගය පැවැත්වෙන අතරතුර එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසල් සේවය කරන ගුරුවරයකුට දුරකතන ඇමතුමක් දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්නයකට පිළිතුරු විමසා ඇතැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත. විදුහල්පතිවරයා එම විභාග මධ්‍යස්ථානයේ අතිරේක ශාලාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඉකුත් බදාදා තර්ක ශාස්ත්‍රය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පැවැන්වෙන අතරතුර මෙම සිදුවීම වී ඇතැයි පැවසේ.  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ
නිලධාරින් කණ්ඩායමක් ඉකුත් සිකුරාදා තර්ක ශාස්ත්‍රය දෙවැනි ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර එම විභාග මධ්‍යස්ථානයට ගොස් තිබේ.

එසේ යනවිට විදුහල්පතිවරයාගේ කාර්යාලයට යාබද  වෙනත් කාර්යාලයක බාහිර පුද්ගලයන් තිදෙනකු සිට ඇති අතර ඉන් එක් අයකු විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු බවට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.  විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතිරේක  ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. මේ පිළිබඳව  කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තර්ක ශාස්ත්‍රය විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදෙමින් කිසියම් විභාග අපේක්ෂකයකුට  හෝ කණ්ඩායමකට හෝ උපකාර කරමින් සිට ඇති බවට සැක කළ හැකි බවය.  එම විදුහල්පතිවරයාට උසස් පෙළ විභාගය නිමවන තෙක් එම පාසල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර තිබේ.


-රංජන් කස්තුරි-