ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මහරගම අසල පිහිටි කුඩා ගම් සහ නගර වෙත ධාවනය වන බස් රථ සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් එහි ජනතාව මහත් අපහසුතාවකට පත්ව තිබේ. 

 එහි සිට විද්‍යාල හදිය, හෝකන්දර, මල්වත්ත පාර, සිකුරාදා පොළ හන්දිය, ජයවර්ධනපුර රෝහල ආදී ගමනාන්ත වෙත ධාවනය වන මෙම බස් රථ ධාවනය කරනුයේ බොහෝවිට ප්‍රධාන මාර්ග මඟහැර, අතුරු මාර්ග කිහිපයක් ඔස්සේය. ඒ හේතුවෙන් නගරයෙන් ඔබ්බෙහි පිහිටි අතුරු මාර්ග සහ මාවත්හි පදිංවි ජනතාවට මින් විශාල පහසුවක් සිදුවන අතර, ඒ හේතුවෙන්ම මෙම ප්‍රදේශයන්හි ජනතාවට ත්‍රිරෝද රථ සඳහා වියදම් කෙරෙන මුදල ඉතිරි කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ. 
එහෙත් සති කිහිපයක සිට මෙම බස් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාසල් සිසුන්, අතිරේක පන්ති සඳහා සහභාගි වන සිසු සිසුවියන්ද මහත් අපහසුතාවට ලක් වන ආකාරය මහරගම ප්‍රධාන බස් නැවතුමේදී දැකීමට හැකිය.
සවස් කාලයේ සිය සේවාවන් නිමා වී නිවෙස් කරා ආපසු පැමිණෙමින් සිටින කාන්තාවන් සහ වැඩිහිටි ප්‍රජාවද මෙයින් මහත් අපහසුතාවට ලක්වන ආකාරයක් මහරගම ප්‍රධාන බස් නැවතුමේදී දක්නට ලැබේ. 

 අප මේ පිළිබඳව මහරගම ලංගම බස් ඩිපෝ අධිකාරී එම්. කේ. ඩී. කේ. ජයවර්ධන මහතාගෙන් විමසූ විට, ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය. "කොළඹ අවට සියලු බස් ඩිපෝහි සේවය කරනුයේ ඈත ගම් නියම්හි සිට මෙහි සේවයට පැමිණි අයයි. ඔවුන් මාසික වැටුප ගත් සැණින් තම බිරියන් සහ දරුවන් දැක ගැනීමට මසකට හිමිවන නිවාඩු හතර එකවර ලබාගෙන ගමේ යනවා. මෙම අතුරු මාර්ග සියල්ල ඩී ශ්‍රේණියට අයත් වන ග්‍රාමීය මාර්ග ඔස්සේ ධාවනය වන නිසාම ප්‍රමිතියෙන් තොර එම මාර්ගවල ඇති වළගොඩැලි හේතුවෙන් මෙම බස් රථ කාර්මික දෝෂයන්ට ලක්ව නැවත අලුත්වැඩියාවට ලක් කිරීමට ඩිපෝව වෙත ආපසු පැමිණිමට සිදුවෙනවා. 

මෙම බස් රථද වසර දහයකට වැඩි කාලයක් මගී ප්‍රවාහනයේ යෙදුණ ඒවායි. ඒවා වර්තමානයේ අබලි තත්වයට පත්ව පවතිනවා. මේ තත්ත්වය අවබෝධ කරගත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදේශ විනිමය වැයකර නව බස් රථ ගෙන ඒම වෙනුවට තෝරාගත් අබලි බස් රථ දෙසීයක් මෙහි සේවය කරනා දේශීය කාර්මිකයන් යොදවා අලුත්වැඩියා කර මගී ප්‍රවාහනට යෙදවීමට සැලසුම් කර තිබෙනවා. එය එළඹෙන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති." 

 - අමිල සංකල්ප -