පසුගිය 3 වැනිදා රාත්‍රියේදී ගම්පහ රෝහලේදී කොවිඩ් - 19 ආසාදිත තැනැත්තියක් බවට හඳුනාගත් මොහොතේ සිටම ප්‍රදීපිකා පිළිබඳව රට වටා ප්‍රචලිත වූ කට කතා අතිමහත්ය. “දෙවැනි රැල්ලේ මුලින්ම කොරෝනා ආසාදිත වූ තැනැත්තිය බවට බොහෝදෙනා මාව හඳුන්වා දී තිබුණා. ඒක එහෙම නෙවෙයි කියලා මුලින්ම ලියන්න.”

 “මේ වෙද්දී වසංගත රෝග මර්දන අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා පවා ඒ ගැන කියා තිබුණා. ඒ නිසා ඒ චෝදනාවෙන් මාව නිදහස් කර දෙන්න.” ප්‍රදීපිකා අප සමඟ කළ කතාබහ ආරම්භ කළේ මේ විදිහටය. දැන් අපි ඇගේ ඒ කතාව මුල සිට ඔබට කියන්නෙමු.
ප්‍රදීපිකා සුදර්ශනී රත්නායක පදිංචිව සිටින්නේ දිවුලපිටිය, හොරගස්මුල්ල, බෝඹුගම්මනය. තවමත් කුලී නිවෙසක ජීවත්වන ඇගේ දරු පවුල රැකෙන්නේ ත්‍රීවීලර් රියැදුරකු ලෙස රැකියාව කරන ස්වාමිපුරුෂයාගේ හා පවුලේ දෙවැනි දරුවා වූ අවිශ්කගේ වැටුපෙනි. අවිශ්ක රැකියාව කරන්නේ ප්‍රදේශයේ ‘යමහා’ අලෙවි නියෝජිත ආයතනයකය. දරුවන් හතර දෙනකුගේ මවක වන සුදර්ශනීගේ වැඩිමහල් පුතා පසිඳු ලක්මාල් යුද හමුදාවේ රැකියාවට යෑමට නියමිතව සිටියේ මේ දිනවලය. 

ඊළඟ දැරිය ස්වප්නා දිව්‍යාංජලී මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටින්නීය. තවමත් පාසල් යන පවුලේ බාල දරුවා නිමේෂ්ගේ වයස අවුරුදු 14කි. “මට ඉන්නේ මෙන්න මේ වගේ ආදරණීය දරු පවුලක්. මේ දරු පවුලේ කාටවත් හානියක් අපහාසයක් වන විදිහට කවදාවත් කතා පැතිරිලා නැහැ. කටකතාවක් අහන විදිහට මගේ පෞද්ගලික ජීවිතේට මම කැළැලක් ඇති කරගෙන නැහැ. එහෙම මට තමයි නොදන්නා අය වගේම මාව හොඳටම දන්නා කිහිපදෙනෙක් කතා හැදුවේ. මම ඒකට වෛර කරන්නේ නැහැ. ඒත් මට දුකයි.” ප්‍රදීපිකා සුදර්ශනීට මේ විදිහට ඕපාදූප හා කටකතා ගොන්නක් එකවිට හැදෙන්නේ පසුගිය 3 වැනිදායින් පසුවය. ඒ මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික්ස්’ කොරෝනා පරිච්ජේදය ආරම්භ වීමත් සමඟය. තවත් විදිහකට කියනවා නම් දෙවැනි රැල්ලේ කොරෝනා ව්‍යාප්තියත් සමඟය.

 “මම PCR පරීක්ෂණයෙන් පොසිටිව් වුණු පළමු කොරෝනා රෝගියා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණේ මම බලහත්කාරයෙන් වගේ මගේ රෝගය මොකද්ද කියලා බලන්න ගම්පහ රෝහලට ගිය නිසා. එහෙම යන්නේ නැතිව හිටිය නම් මේ කතාව රටට දැනගන්න ලැබෙන්නේ වෙන විදිහකට වෙන්න පුළුවන්.”

 ප්‍රදීපිකා සුදර්ශනී පවසන ආකාරයට මිනුවන්ගොඩ කොරෝනා ව්‍යාප්තිය එසේත් නැතිනම් ආරම්භය දිගහැරෙන්නේ සැප්තැම්බර් මස 19 - 20 වගේ දිනවල සිටය. ඒ තමන් වැඩ පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරන CM 23 අංශයේ කිහිපදෙනකු රෝගී වීමත් සමඟය. “එදා මගේ අංශයේ ඉන්න ළමයින් 20 දෙනාගෙන් කිහිපදෙනකුට හිසේ කැක්කුම, සාමාන්‍ය විදිහට උණ හා කැස්සක් වගේ රෝග ලක්ෂණ ඇති වුණා.” 

 “ ඇත්තටම ඒ වෙලාවේ අපි කළේ ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහින් වේදනා නාශක ලබාගත්ත එක විතරයි. මොකද අපිට ඉක්මනින් ඉවර කරන්න තිබුණු ඉන්දියාවේ ඕඩර් එකක් භාර දීලා තිබුණා.” කෙසේ හෝ මේ ආකාරයට කාලය ගෙවී යද්දී සැප්තැම්බර් 27 වැනිදා ප්‍රදීපිකා සුදර්ශනීත් රෝගී වන්නේ පෙර සේවිකාවන් විදිහටමය. “ඕවා ගණන් ගන්න එපා. ඔය වයිරස් උණක්. ගිහින් පැනඩෝල් බීලා වැඩ කරනවා” ආයතන ප්‍රධානියකු එසේ කියමින් බැන වැදුණේ මේ රෝගී තත්ත්වය පිළිබඳව ඔහු දැනුවත් වූ මොහොතකය. “මම ගෙදර ඇවිල්ලා මගේ මහත්තයා එක්කත් මේ බව කිව්වා. ඊට පස්සේ මමත් බෙහෙත් බිබී සේවයට ගියා.

 ඒ අර 27 වැනිදා රෝගී වුණාටත් පසුවය. මොකද ඒ වෙද්දී ආයතනයේ වෛද්‍යවරයා මට බෙහෙත් ලබාදී තිබුණා. ඒ බෙහෙත් මාත් එක්ක හිටපු තවත් ළමයි දෙන්නෙක් එක්ක මම බෙදා හදාගෙන බිව්වා. මොකද ඒ අයටත් තිබුණේ මගේ රෝග ලක්ෂණයි.” කාලය මේ විදිහට තවත් දින කිහිපයක් ඉදිරියට ගමන් කළේය. රටම කැලඹූ කොරෝනා වසංගතයේ ඊළඟ ව්‍යාප්තිය මේ ආකාරයට රහසේම දලුලා වැඩෙන බව කිසිවකු සිහිනෙකුදු සිතුවේ නැත. මාර්තු මස 30 වැනිදා බදාදා ප්‍රදීපිකා සුදර්ශනී නැවතත් සුපුරුදු ලෙස හිමිදිරියේම නිවෙස අසලට එන ආයතනයේ ප්‍රවාහන පහසුකම් සපයන බස් රථයට ගොඩවන්නීය. ඒ වෙද්දීත් ඇය සිටින්නේ තෙහෙට්ටු ගතියෙනි. “එදා මම රාජකාරි පරිශ්‍රයට ඇවිත් ගතවුණේ ටික වෙලාවයි. 

මට හුස්ම ගන්න බැරි විදිහේ අපහසුවක් ආවා. පපුව හිරවෙනවා වගේ දැනුණා.”
මේ මොහොතේ ඇය සමඟ සිටි සේවිකාවන් ආයතනය පරිශ්‍රයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රදීපිකාව රැගෙන ගියේ වත්තන් කරගෙනය. ඊළඟ මොහොතේ ඇයව පරික්ෂා කර බැලූ වෛද්‍යවරයා ඇයට ලබාදුන්නේ ගැස්ට්‍රයිටීස් රෝගයට දෙන ඔෟෂධය. ඒ මේ පපුව හිරවීමට හේතුව උදරයේ ආම්ලිකතාව වැඩිවීමේ ප්‍රතිඵලයක් යැයි අනුමාන කළ නිසාය. “මට ඒ බෙහෙත්වලට අඩු වුණේ නැහැ. ඒ නිසාම මම බලකර කිව්වා මාව රෝහලකට අරන් යන්න කියලා. මේ අනුව තමයි මාව ගම්පහ රෝහලට අරන් ගියේ.”

 මේ ආකාරයට රෝහල්ගත වන ප්‍රදීපිකා සුදර්ශනී පරික්ෂා කර බැලූ වෛද්‍යවරු ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී පී.සී.ආර්. පරීක්ෂණයකටත් යොමු කරවීමට කටයුතු කළහ. ඒ පරික්ෂණයේ ප්‍රතිඵල ඔක්තෝබර් 01 වැනිදා එනම් පෝය දිනයේ ඇය ප්‍රතිකාර ලැබූ වාට්ටුව වෙත ලැබී තිබිණි. ඊට පස්සේ වාට්ටුවේ ‍ෙදාස්තර මහත්තයා මට බොහොම කරුණාවෙන් කතා කරලා කිව්වා “ දරුවෝ ඔබට බයවෙන්න කාරියක් නැහැ ගෙදර යන්න පුළුවන්” කියලා. ඒ අනුව මම මගේ මහත්තයගේ ත්‍රීවීලර් එකේම අක්කත් එක්ක ගෙදර ආවා.” 

 බොහෝ විට අපි සිතන දේ වෙනුවට සිදුවන්නේ නොසිතන දේය. නොසිතන දේ වෙනුවට වෙනත් දෙයක් සිදුවීමද මේ ජීවිත ගමනේදී අනන්තවත් දැක ඇත. ප්‍රදීපිකා සුදර්ශනීගේ කතන්දරයත් ඒ වාගේමය. ඒ අනපේක්ෂිත දවස හා මොහොත උදාවන්නේ මෙන්න මේ විදිහටය.

 “මම ගෙදර ආවේ ඔක්තෝබර් 01 වැනිදා. එහෙම ඇවිත් ඉන්න කොට 2 වැනිදා හවස 6.30ට විතර මගේ මහත්තයාගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා.” මේ දුරකථන ඇමතුමෙන් දන්වා සිටියේ ප්‍රදීපිකා සුදර්ශනීගේ පී.සී.ආර්. පරීක්ෂණය පොසිටිව් වී ඇති බවය. එනම් ඇය කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව සනාථ වූ පුවතය. “මට හිතාගන්න බැරිවුණා. ඉස්සර වෙලා රෝහලෙන් මාව එව්වේ “පොසිටිව්’ නැහැ කියලා. ඒත් දවසයි ගතවුණේ “පොසිටිව්” කියලා කිව්වා. තවත් මොහොතක් ගතවෙද්දී ප්‍රදීපිකා සුදර්ශනීගේ ස්වාමිපුරුෂයා වූ ගයාන් මලිත් අමරසිංහගේ දුරකථනයට එක දිගට ඇමතුම් ලැබෙන්නට විය. 

ඒ ඇමතුම් සියල්ල තුළින්ම කියැවුණේ වහාම ඇඳුම් පැලඳුම් කිහිපයක් ගෙන අයි.ඩී.එච්. රෝහල බලා යෑමට රෝගියා සූදානමින් සිටිය යුතු බවය. එමෙන්ම නිවෙසේ අයද වැඩිදුර පරීක්ෂණ සඳහා සහභාගි වීම අනිවාර්ය බවය. “මගේ හිත ලොකු බයකින් ගැහෙන්න පටන් ගත්තා. මට හිතාගන්න බැරිවුණා. මොකක්ද මම කරන්නේ කියලා. මම ඇඬුවා “ “මේ මොහොතෙම දිවුලපිටිය පොලිස් නිලධාරි මහත්තුරු කිහිපදෙනකුත් අපේ ගෙදරට ආවා. ඔවුන් මහ කැතම කැත විදියට බැන වදිමින් අපිට ‍ෙදාස් කිව්වා. නරක කතා කිව්වා.

 අපිට එහෙම කතා කළේ මගේ මහත්තයා ත්‍රීවීලර් එළවන නිසාද? මම දරුවන්ට කන්න දෙන්න ගාමන්ට් රැකියාවක් කරන නිසාද? අනේ මහත්තයා ඇයි අපිට ඒ විදියට කතා කරන්නේ?” ප්‍රදීපිකා සුදර්ශනීගේ ප්‍රශ්නය සංකීර්ණය. එහෙත් ඒ සංකීර්ණ ගැටලුව පිටුපස අපට කියන්නට තිබෙන්නේ එකම එක උත්තරයකි. ඒ තමයි මිනිස්සු නොවන නොමිනිස්සු. හෘදයාංගම බවක් නැති රාජකාරියටම පමණක් සීමා වූ දරදඬු හිත් පිත් ඇති නොමිනිස්සු. කෙසේ හෝ මේ ආකාරයේ නින්දා අපහාසවලට ගොදුරු වූ ප්‍රදීපිකා සුදර්ශනී අවසානයේදී කඳුළු පිරි දෑසින් මෙසේ ප්‍රශ්න කළාය. 

 “ඇයි මහත්තයා අපිට මෙහෙම කතා කරන්නේ. අපි වනචර ගෑනු නෙමෙයි. ගාමන්ට් රැකියාව කළාට අපි ගැන එහෙම හිතන්න එපා.” මේ ආකාරයට තවත් මොහොතක් ගතවෙද්දී නිවෙස ඉදිරියට ආ විශේෂිත වාහනයකින් ඇයව අයි.ඩී.එච්. රෝහලට රැගෙන ගියේය. “ඒ මහත්තුරු නම් දෙවිවරු. අපිට හොඳට කතා කළා. ඇත්තටම මහත්තයා අද අපි මෙහෙම හරි හොඳින් ඉන්නේ මේ අයි.ඩී.එච්. රෝහලේ ඉන්න දෙවිවරු නිසයි.” “ඔවුන් දැනට වුණත් මා සම්බන්ධව රටපුරා පැතිරිලා තියෙන කට කතා ගැන කියද්දි මගේ හිත සනසවනවා. මට හිත හැදෙන්න කතා කරනවා. ආදරයෙන් හැමදේම කියා දෙනවා.” 

 අවුරුදු 9කට වඩා දිගු කාලයක් ප්‍රදීපිකා සුදර්ශනී බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන්නීය. මේ කාලය පුරාවටම ඇයට එම ආයතන පරිශ්‍රයේදී බොහෝ හෘදයාංගම මිනිසුන් හමු වී තිබුණි. ඇය ඒ ගැනද කතා කළාය. ආදරයෙන් මතක් කළාය. “බ්‍රැන්ඩික්ස් කියන්නේ මගේ ආදරණීයම ආයතනය. ඒකට මම ආදරෙයි. ඒත් සමහර නිලධාරි මහත්තුරු එහෙමත් නැත්නම් ලොක්කෝ මහ නරක විදියට ඒ ආයතනයේ නම කැත කරන්න වැඩ කරනවා. ඇත්තටම කලින් හිටපු මහත්තුරු වගේම තවමත් ඉන්න මහත්තුරු අතර හොඳ මහත්තුරු ඉන්නවා. ඔවුන් වගේ නෙමෙයි මේ ප්‍රශ්නය වෙලාවෙදි අපිව බාරව සිටි මහත්තුරු.... ඒකයි අපිට දුක.”


 “ඇත්තටම ඒ අයගේ වැරැද්ද වහගන්න අපිවත් නරක නොහොඹිනා ගෑනු විදියට වැරැදි ආරංචි සමාජයට යැව්වා. මාධ්‍යයට දුන්නා. මම නම් කියන්නේ මේවා දෙවියෙක් හරි උඩ ඉන්න කවුරු හරි බලාගනියි කියලයි. හැමදාම මිනිසුන්ට බොරු කරන්න බැහැ.” “බලන්න මේ නරක ආරංචි නිසා මගේ දරුවෝ, මගේ එකම ගෑනු දරුවට වෙච්ච හානිය ඒ දරුවෝ ... කොහොමද මේ සමාජයට මුහුණ දෙන්නේ. අපි අපේ දරුවෝ හදලා තියෙන්නේ චරිතවත් විධියට. “ප්‍රදීපිකා සුදර්ශනී වේදනාවෙන් යුතුව කීවාය. ප්‍රදීපිකා සුදර්ශනී පවසන්නේ ඇය නිවාඩු නොලබා එක දිගට රාජකාරියට ගොස් පැමිණීමේ දීමනාව පවා හොඳින් ලබාගත් සේවිකාවක් බවයි. වැඩ පරීක්ෂකවරියක් ලෙස සේවය කරන ඇය තමන් සමඟ සිටින සේවිකාවන් 20දෙනා තනිකොට එක මොහොතක් ගේට්ටුවෙන් පිටත ඇති කඩ සාප්පුවකට පැමිණ නැති බවයි.


 “අපි වැඩ කළේ හොඳ වැටුපක් ගන්න. නියමිත රාජකාරි කරලා ඉලක්ක සපුරා ගන්නයි” ප්‍රදීපිකා සුදර්ශනීගේ මේ කතාව මේ විධියට දිග හැරෙද්දි අපි ඊළඟට කතාවට අල්ලා ගත්තේ ඇගේ ස්වාමි පුරුෂයා වූ ගයාන්වයි. ගයාන් මේ වෙද්දී සිටින්නේ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයකය. ඔහු එහි සිටින්නේ තනිවම නොවේ. පිරිමි දරුවන් තිදෙනා සහ ප්‍රදීපිකාගේ පියා සමඟය. “මහත්තයෝ රට පුරා විවිධ තැන්වල මම නොදන්න මම විශ්වාස නොකරන වැරැදි ඕපාදූප ගොඩක්, කටකතා ගොඩක් පැතිරිලා තිබුණා. මගේ බිරිඳ එහෙම කෙනෙක් නෙමෙයි මහත්තයා. ඒ ආදර්ශවත් බිරියක්. ආදර්ශවත් අම්මා කෙනෙක්. මට දුක එහෙම කෙනකුට මේ වගේ කැත කතා හදපු එක ගැනයි.” ගයාන් - ප්‍රදීපිකා විවාහ වන්නේ මීට වසර 21කට පෙරදීය. එදා සිට අද දක්වා ඇයට එරෙහිව කිසිදු ඇල්පෙනිත්තක තරම් නරක චෝදනාවක් ඇයට නැති බව ගයාන් පවසයි. 


 “ප්‍රදීපිකාට අපි ආදරේට කියන්නේ ‘නිලූ’ කියලා. මහත්තයලා දිවුලපිටිය ගෙවල් පැත්තට ඇවිත්, එහෙමත් නැත්නම් ප්‍රයිවට් බස් නැවතුම්පොළට ඇවිත් ‘නිලූ’ ගැන අහන්න. එයා කොයි වගේ කෙනෙක්ද කියලා. එතකොට දැනගන්න පුළුවන් වේවි. “මම ත්‍රීවීලර් එක එළවන්න කලින් කළේ ප්‍රයිවට් බස් රස්සාව. මම බස් එකක් එළෙව්වා. ඒ කාලේ මම ඒ තරම් හොඳ මිනිහෙක් නෙමෙයි. නරක ගතිගුණ ටිකක් තිබුණා. ඒ හැමදෙයක්ම මට කියා දීලා අවවාද කරලා මාව හැදුවේ මගේ බිරිඳයි. ඒක මේ බස් නැවතුම්පොළේ හැමෝම දන්නවා.” ප්‍රදීපිකා සුදර්ශනී කොරෝනා රෝගයට ගොදුරු වූ මුල් කාලයේදී බොහෝ මාධ්‍යවල මෙන්ම කටකතා පැතිරී ගියේ ඇය ඇතැමුන් සමඟ අයථා සබඳතා පවත්වා ඇති බවය.

 මෙවැනි අය සමඟ විදෙස් සංචාරවලට පවා ඇය සහභාගි වී ඇති බව එම කටකතා තුළින් කියැවුණි. “මගේ බිරිය කවදාවත් පිටරට ගිහින් නැහැ. ගුවන් යානයක් ළඟටවත් ගිහින් නැහැ. එක දවසක්, එක රැයක් ගෙදරින් පිට ඉඳලා නැහැ. උදේ 6.45 විතර එන බ්‍රැන්ඩික්ස් බස් එකේ රාජකාරියට ගිහින් ඒ බස් එකේම රෑ 8.10ට විතර ප්‍රදීපිකා ගෙදර එනවා. ඉරිදාට ගෙදර. එදාට මුළු ගෙදරම වැඩ කරලා හවස මහන්සියට ටිකක් නිදාගන්නවා. ඕක තමයි එයාගේ ජීවන චර්යාව. අනික වැඩපළේ පොත් අරගෙන බලනකොට ඔය කටකතා ගොතන අයට බලාගන්න පුළුවන් ඇය කොයි තරම් උනන්දුවෙන් හැමදාම වැඩට ඇවිත් තියෙනවද කියලා. ඉතින් මේ තරම් සාධාරණ කරුණු තියෙද්දී තමයි ඇයට අපහාස කරන ආරංචි පතුරුවා හැරියේ. ඒක කළේ ඔය නිලධාරි මහත්තුරුම තමයි. එයාලා බේරෙන්න මගේ බිරියට වැරැද්ද පටවන්න හැදුවා. හිතුවේ නැහැ තවත් කොරෝනා රෝගීින් ගොඩාක් එතැන ඉන්නවා කියලා. ඒ වගේම ඇත්ත තොරතුරු එළියට එන එකක් නැහැ කියලයි. මේ අය හිතුවේ.” 


 ගයාන් සමඟ මේ වෙද්දී නිරෝධායනය වෙමින් සිටින ප්‍රදීපිකා සුදර්ශනීගේ පියා සිටින්නේද අසනීපයෙනි. ඒ එක් අතකට ඇති වී තිබෙන අනතුරක් නිසාවෙනි. එහෙත් පසුගිය දින කිහිපයේ ඇතැම් සමාජ මාධ්‍ය ජාල හා වගකීමෙන් තොරව ප්‍රවෘත්ති පළ කරන මාධ්‍ය කිහිපයකද හෙළි කර තිබුණේ ප්‍රදීපිකා සුදර්ශනීගේ මවද කොරෝනා ආසාදිත තැනැත්තියක් වී රෝහල් ගත කොට ඇති බවය. එමෙන්ම දියණිය වෙනම මධ්‍යස්ථානයක හුදකලාව ප්‍රතිකාර ගන්නා බවය. එහෙත් ඇත්ත කතාව නම් ප්‍රදීපිකා සුදර්ශනීගේ මව මීට අවුරුදු එකහමාරකට පෙර මියගොස් සිටීමය. “දියණිය ඉන්නේ අම්මා එක්කමයි. ඇය ප්‍රතිකාර ගන්නා ගමන් පාඩම් කරනවා.” ගයාන් කීවේය. ප්‍රදීපිකා සුදර්ශනී සහ ගයාන් මලිත මේ කතන්දරයට සම්බන්ධ තවත් බොහෝ කරුණු අප හමුවේ පවසා සිටියේය. ඒ සෑම හෙළිදරව්වකම ඇත්තේ තම පවුලට එරෙහිව පතුරුවා හැර තිබෙන අසත්‍ය හා අපහාසයට තුඩු දී ඇති කරුණු පිළිබඳවය. අපේ පවුලත් එක්ක ඉන්න දරුවන්ගේ යාළුවෝ පවා අපි ගැන දන්නවා මහත්තයා.” ගයාන් අවසන් වශයෙන් කීවේය. මේ සංවේදී සටහන අවසන් කරන්නට මත්තෙන් අපි ගයාන් සහ ප්‍රදීපිකාගේ එකම දියණිය ස්වප්නා සමඟද මොහොතක් කතා කළෙමු.


 “මට හරිම දුකයි මොකද මම හින්දා මගේ පාසලේ හැමෝටම ප්‍රශ්නයක් වුණා. හොඳ වෙලාවට පරීක්‍ෂණවලදී ඒ කාටවත් කොරෝනා නැහැ කියලා හෙළි වුණා. ඒත් මම හින්දා එහෙම අපහසුතාවක් වුණු එක ගැන මට හරිම දුකයි. ඒ අයට කියන්න මට සමාව දෙන්න කියලා. ඒ වගේම අයි.ඩී.එච්. රෝහලේ ඉන්න ‍ෙදාස්තර මහත්තුරුන්ට වගේම නර්ස් නෝනලා හැමදෙනාටම ස්තූතියි. මොකද ඒ හැමෝම මට පොත්පත් ගෙනත් දෙනවා. පාඩම් කරන්න. ස්වප්නා දිව්‍යාංජලී මේ අකරතැබ්බට මුහුණ දුන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදීය.

 “මම කොහොම හරි පාඩම් කරලා විභාගේ පාස් වෙනවා. ඒ අධිෂ්ඨානයෙන් තමයි මම මේ ඉන්නේ.” ප්‍රදීපිකා සහ ස්වප්නා අයි.ඩී.එච්.රෝහලට පැමිණියේ හද ගැස්මෙන් යුතුවය. රැගෙන ආ මුල් දවස්වල ඔවුන් සිටියේ විශේෂ තැනකය. එහෙත් දැන් මේ දෙපොළම එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. “අපි සාමාන්‍ය විදිහට ඉන්නවා. ලොකු අපහසුතාවක් නම් දැනෙන්නේ නැහැ. ඉක්මනට හොඳ වෙලා ගෙදර යන්න පුළුවන් වේවි කියලා හිතෙනවා.” එසේ කීවේ ප්‍රදීපිකා සුදර්ශනීය.


( සමන් ප්‍රියංකර නම්මුනිගේ)