COVID-19 වෛරසයට එරෙහිව සමාගම් දෙකක් මඟින් සිදු කරන එන්නත් අත්හදා බැලීම් මේ සතියේදී යළි ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අරඹන බව එම සමාගම් පවසා සිටියි. බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා සහ එක්සත් ජනපදයේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මෙම සමාගම් වෙයි. එරට රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක Operation Warp Speed නම් මෙහෙයුම යටතේ මෙම අත්හදා බැලීම් සිදු කෙරෙයි. 

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම එන්නත් ලබාදුන් පුද්ගලයන් තුළ යම් රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීමත් සමඟ එම අත්හදාබැලීම් තාවකාලිකව අත්හැර දැමුණි. ඒ අතරින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පසුගිය සතියේදී සිය කටයුතු නවත්වා තිබුණි.

එසේම බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිපදවූ එන්නත ලබාදුන් බ්‍රිතාන්‍ය කාන්තාවක රෝගී වීමත් සමඟ පසුගිය මාසයේදී එම අත්හදා බැලීම එම සමාගම මගින් නවත්වා දැමුණි. 

මෙම කරුණුවලින් අනතුරුව එම සමාගම් පෙන්නුම් කළ සාර්ථකත්වයන්ගෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය මගින් එක්සත් ජනපදය තුළ මෙම එන්නත් අත්හදා බැලීම සඳහා යළි අවසර ලබාදීමත් සමඟ මෙම කටයුතු ඇරඹෙන බව සමාගම් සඳහන් කරයි.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා සමාගම මගින් නිපදවූ COVID-19 වෛරසයට එරෙහි එන්නත ලබාදුන් බ්‍රසීල පුද්ගලයෙකු පසුගියදා මරණයට පත්ව ඇතැයි බ්‍රසීලයෙන් වාර්තා වෙයි. මෙම තැනැත්තා 28 හැවිරිදි  COVID-19 ආසාදිතයෙකු බවත් පැවසෙයි. එහෙත් මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නැත. කෙසේ වෙතත් එරට තුළ මෙම එන්නතේ අත්හදාබැලීම් ඉදිරියටත් පවත්වාගෙන යන බව බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගමද පවසයි.