ගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයෙන් හමුවූ 'කෝවිඩ්-19' ආසාදිත පුද්ගලයා පසුගිය ශිෂ්‍යත්ව විභාගය පැවැති දිනයේ කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය අසල ගැවසී ඇති බවට තොරතුරු හෙළිවීමත් සමඟ එම බාලිකා විදුහල සම්පුර්ණයෙන් විෂබීජහරණය කිරීමට ඊයේ (14දා) ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. ශිෂ්‍යත්ව විභාගය පැවැති දිනයේ එම පුද්ගලයා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තම දියණිය පාසලට ඇරලවා කුඩා රත්වත්තේ මාවතේ පිහිටි අවන්හලකට ගොස් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ
ඒ සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබේ. 

ගලගෙදර, දෙහිඅංග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම 'කෝවිඩ්-19’ ආසාදිත පුද්ගලයා කටුපොත ප්‍රදේශයේ ටයර් කර්මාන්තශාලාවක සේවකයෙකු බව පොලීසිය පැවසීය.

එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ ආශ්‍රිතයන් 58දෙනෙකු මේ වන විටත් නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔහුගේ දියණියගේ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවෙන් ඇයට 'කෝවිඩ්-19" ආසාදිත බවට තහවුරු වුවහොත් කටුගස්තොට ප්‍රදේශයේ විශාල පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවන බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

කෙසේ නමුත් අදාළ පාසලේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ දැයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එවැනි තීරණයක් ගැනීමට මෙතෙක් අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි.

- ෂේන් සෙනෙවිරත්න -