බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහා හිමිවන වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ධුරයෙන් ඉවත් වීමට අගමැති බොරිස් ජොන්සන් අදහස් කරගෙන සිටින බව එරට 'ද ඩේලි මිරර්' පුවත්පත සඳහන් කරයි. පුවත්පතට අනුව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ වාර්ෂික වැටුප ඩොලර් 1,95,000කට ආසන්න වෙයි. කෙසේ වෙතත් මෙම වැටුප ප්‍රමාණවත් නොවන බවත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ බ්‍රෙක්සිට් යෝජනාව අවසන් කිරීමෙන් සහ දැනට රට තුළ පවතින නව කොරෝනා වසංගතය සාර්ථක ලෙස මැඩපැවැත්වීමෙන් පසුව ධුරයෙන් ඉවත්වීමට අගමැතිවරයා අදහස් කරගෙන ඇතැයි පුවත්පත වැඩිදුරටත් පවසා සිටියි.


මෙහිදී අදහස් දක්වා ඇති ඇතැම් කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන්, අගමැතිවරයා මීට පෙර සිදුකළ රැකියාව හා සැසදීමේදී මෙම වැටුප් ප්‍රමාණය මදි වන්නට ඇතැයි සැලකිය හැකි බව පවසයි. පුවත්පත විශ්වාස කරන ආකාරයට ඔහු හිටපු අගමැතිනී තෙරේසා මේගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම ධුරය භාරගන්නා අවස්ථාව වන විටත් සිදුකළ දේශන හරහා පවුම් මිලියනයකට අධික ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. 

වාර්තාවලට අනුව ඔහු අගමැති ධුරය සඳහා පත්වීමට පෙරාතුව එක් මාසයක් තුළදී සිදුකළ දේශන දෙකක් හරහා එක්සත් ජනපද ඩොලර් 206,885ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි පැවසෙයි. එසේම මීට පෙර නිකුත් වූ අනාවරණයකට අනුව ජොන්සන් හට අගමැතිවරයා වීමට පෙරාතුව මාසයකට ඩොලර් 30,000ක ආදායමක් පැවැති බවත්, ඒ අනුව වාර්ෂිකව ඩොලර් 355,584ක් ඔහු ඉපැයූ බවත් සඳහන් වෙයි. 

විශේෂයෙන්ම ඔහුගේ පෙර බිරිඳ වන මරීනා වීලර් වෙත ඔහුගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් ගෙවීමට එකඟ වී තිබීමත්, වයස අවුරුදු 7ක් වන විල්ෆ්‍රඩ් නම් ඔහුගේ පුත්‍රයා වෙත අවශ්‍ය මුදල් සැපයීමටත් ඔහුට සිදුව තිබේ. එසේම ඔහු දැන් අලුත් විවාහයක් සිදුකරගෙන එම විවාහයෙන්ද මාස කිහිපයක දරුවෙකු සිටියි.