හොරොව්පොතාන නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක දී ඊයේ (26) දහවල් 12.37ට පමණ 33 හැවිරිදි විවාහක කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කළ බව කියන පුද්ගලයකු පළා යමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි. 

පිහි ඇනුම් කෑ කාත්තාව මූල්‍ය ආයතනය තුළ ඇද වැටුණු පසු සැකකරු එම ස්ථානයෙන් පළාගොස් තිබූ බව පවසන පොලීසිය, බරපතළ තුවාල ලබා සිටි කාන්තාව හොරොව්පොතාන රෝහලට රැගෙන යන අතරතුර දී මරණයට පත්ව ඇති බව කියයි.


පළාගිය සැකකරු හොරොව්පොතාන නගරයේ කඩවීදිය පසුපසින් දිවයන අතරතුර හැඳ සිටි කමිසය ගලවා විසිකර ඔහු ළඟ තිබූ වෙනත් කමිසයක් හැඳගෙන පළා යද්දී සිද්ධිය ආරංචී වී ඔහු පසුපස ලුහුබැඳ ගිය හොරොව්පොතාන පොලීසියේ රථවාහන අංශයේ සැරයන් කරුණාතිලක (2613) සහ කොස්තාපල් බණ්ඩාර (70872) යන මහත්වරුන් ඔහු අල්ලාගෙන තිබිණි.

මෙසේ ඝාතනය කළ බව කියන කාන්තාව ධම්මිකා ප්‍රියදර්ශනී නමැති තිදරු මවක බව පවසන පොලීසිය ඇය හොරොව්පොතානේ ලේවාසපිරිවැව පදිංචිකාරියක බව කියයි. මෙම කාන්තාව සිය සැමියා සමඟ ත්‍රිරෝද රථයකින් මූල්‍ය ආයතනයට පැමිණ සැමියා ත්‍රීරෝද රථය තුළ සිටිය දී අවුරුදු දෙකහමාරක් වයසැති තම බාල දියණිය ද කැටුව මූල්‍ය ආයතනය තුළට ගොස් තිබෙන බවත් එහිදී මෙම සිද්ධියට මුහුණපා ඇති බවත් මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලීසිය කියයි. 

මූල්‍ය ආයතනය තුළ සවිකර තිබෙන සීසීටීවී කැමරාවල සිදුවූ සිද්ධිය මුල සිට රූගතවී තිබෙන බව ද පොලීසිය පවසයි.

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරු 22 හැවිරිදි අයෙකි. හොරොව්පොතානේ පහළගම පදිංචිකරුවකු වන ඔහු වෘත්තියෙන් පෙදරේරුවකු බව පොලිසිය කියයි. 

සැකකරු හා මියගිය කාන්තාව අතර කලකට පෙර තිබූ බව කියන සබඳතාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මේ ඝාතනයට හේතුවී තිබෙන බවත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (26) සවස සිදුකිරීමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු අද (27) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හොරොව්පොතාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරමින් පවතී.