නෞකාවක සේවය කරන පිලිපීන ජාතිකයකු හදිසියේ අසනිප වී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මෙම පිලිපීන ජාතිකයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (17දා) තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 
 චීනය බලා යාත්‍රා කරන එම්.වී. බ්‍රේකන් නමැති නෞකාවේ සේවකයකු වන මොහු 46 හැවිරිදි වියේ පසුවන අයෙකි. මෙකී නාවික සේවකයා නෞකාව තුළදී හදිසියේ අසනීප වී ඇත. 
මොහු ඉකුත් (16දා) වැනි දින ගාල්ල වරාය වෙත රැගෙන එමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී පිලිපීන ජාතිකයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට පිටත් කර යැවූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 

ගාල්ල - කමල් විජේහේවා