ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත 20 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පවසා තිබේ.

ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවයි. එසේම තමා මුදල් ගත්තේ නැති බවත් එවැන්නක් යමෙකු කියයි නම් ඔප්පු කර පෙන්වන ලෙසත් ඇය කියයි.

පක්ෂයේ සාමූහික වගකීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන පැවති රැස්වීමටද ඩයනා ගමගේ මහත්මිය පැමිණ නොතිබූ අතර ඇය පක්ෂයේ මතයට එරෙහිව යමින්තීන්දුවක් ගෙන ඇති බවට රාවයක් පැතිර තිබුණි. එය සනාථ කරමින් ඡන්දය විමසන අවස්ථාවේ ඇය ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදී තිබුණි.


සමගි ජන බලවේගයට නවක චරිතයක්වූ ඩයනා ගමගේ පාර්ලිමේන්තු ආසනයක් ලබාගැනීමට සමත්වන්නේ අහම්බෙනි.

මීට මාස කිහිපයකට පෙර එජාපයෙන් හැළුණ සජිත් පිලට හදිසියේ පක්ෂයක් ලියාපදිංචියට අවශ්‍ය වූ අවස්ථාවේ එකවරම නව පක්ෂයක් ලියාපදිංචිය සිදු කරන්නට නීති රාමුව තුළ කල්වේලා මදි නිසා ඒ සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පෑ අතර එම අවස්ථාවේ තමන්ට අයත් පක්ෂයක නම වෙනස් කර 'සමගි ජන බල වේගය' පක්ෂය තනන්නට සජිත්ට ඩයනා ගමගේ හා ඇගේ සැමියා උදව් කර තිබේ. එම උදව්වට අදාළ ගිවිසුමේ දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිළව් කරන ලෙසයි.ඇයට ඒ අනුව මන්ත්‍රී ධූරය හිමි විය.

මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර ඇතැයි  පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා තිබේ.