පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස හැට දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 

කම්කරු දෙපාර්තමේන්තුවේ 15දා පැවැති කම්කරු උපදේශක සභාවේ ඉදිරිපත් වූ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සේව්‍ය සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ එකඟතාව මේ සඳහා පළ කිරීම පිළිබඳ ඇමතිවරයා සිය ප්‍රණාමය පළ කරන බවද පවසා සිටියේය.

මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින්, තරුණ ප්‍රතිශතය පහළ යන බැවින් අනාගත ශ්‍රම බළකායේ විශාල රික්තයක් ඇති විය හැකි බැවින් එම නිසා ලෝකයේ අනෙක් රටවල පවතින විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීමද සලකා බලා, මෙරට අනාගතයේදී සේවා ප්‍රවීණයන්ගෙන් තවදුරටත්

රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

එහිදී අදහස් දැක් වූ සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්‍ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පවසා සිටියේ, මෙම තීරණය ඉතාමත් ඵලදායී එකක් බවයි. එසේම නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, අවුරුදු 55න් පසු අපතේ යන පරිණත සේවකයන්ගෙන් රටට තවදුරටත් සේවයක් ගැනීමට මෙම යෝජනාව ඉවහල් වන බවයි. විශ්‍රාම ගිය පසුද එම සේවකයන්ටද කොන්ත්‍රාත් පදනම යටතේ හෝ තවදුරටත් සේවය කරන්න ඉඩදී ඔවුන්ගේ පළපුරුද්දෙන් හා දැනුමින් රටට වැඩ ගත යුතු බව සී.එම්.යූ. නායක සික්වෙස්ටර් ජයකොඩි මහතා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ අවසන් තීරණය මීළඟ කම්කරු උපදේශක සභාවේදී ප්‍රකාශයට පත් කරන බවත්, ඉන්පසු ඊට අදාළ නෛතික ප්‍රතිපාදන සකස් කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද එක්වූහ.

- චාමර සම්පත් -