චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ, කෂ්ගර් නගරයෙහි නව කොරෝනා ආසාදිතයෙකු මතුවීමෙන් පසුව, වසංගතය පැතිරීම වැළැක්වීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින්, එම නගරය වසා දමා, එහි සිටි මිලියන 4.7ක පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමට චීනය කටයුතු යොදා තිබේ.  එහිදී රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 138 දෙනෙකු සොයාගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවී ඇත. චීනය මේ වනවිට එරට තුළ නව කොරෝනා ආසාදන අනුපාතය පහත හෙළා ඇති නමුත්, වසංගතය ලොවපුරා තවම පවතින බැවින් වරින්වර මතුවන මෙවැනි ආසාදන සිද්ධීන් ක්ෂණිකව මැඩලීම සඳහා සුදානමින් සිටින බව කියයි. එරට ෂින්ජියෑන්ග්හී පළාත ආශ්‍රිතව සුළුතර උයිගුර් ජාතිකයන් වාසය කරන අතර, ආසාදන සිද්ධියෙන් පසුව කෂ්ගර් නගරයේ පාසල් වසා දමා තිබේ. එසේම වෛරසය සෘණාත්මක බවට වාර්තාවක් නොමැති
කිසිවෙකුට නගරයෙන් පිටවීමට අවසර ලබා නොදෙන බවද නගර බලධාරීන් කියයි.

කෂ්ගර් නගරයේ ඇති වූ මෙම ආසාදන සිද්ධියේ පළමු වැනි ආසාදිතයා ලෙස හඳුනාගෙන ඇත්තේ, නගරයෙන් පිටත පිහිටි මුලු ප්‍රාන්තයේ ඇගලුම් කම්හලක සේවය කළ කාන්තාවකි. චීන රාජ්‍ය මාධ්‍ය පවසා සිටියේ, එරට ප්‍රධාන භූමියෙන් පසුගිය දින 10ක් පුරා වාර්තා වූ රෝග ලක්ෂණ නොමැති පළමු වැනි ආසාදන සිද්ධිය මෙය බවයි. ඒ අනුව සෙනසුරාදා ආරම්භ කළ පුළුල් පරීක්ෂණවලින් පසුව, තවත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 137ක්  සමග සමස්ත සිද්ධි 138ක් ඒ වනවිට හඳුනා ගැනීමට හැකිවී ඇත.  චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව ඉරිදා දිනයේ දහවල් වනවිට කෂගර් නගරයේ මිලියන 2.8කට වැඩි පරීක්ෂණ පවත්වා තිබූ අතර, අද (27දා) දිනය වනවිට සියලු දෙනා පරික්ෂා කර අවසන් කරනු ඇති බව නගර නිලධාරීහු පවසති. 

මේ ආකාරයෙන්ම ඔක්තෝබර් මුලදී කිංඩාඕ නගරයේ ආසාදන සිද්ධියක් ඉස්මතු වීමෙන් පසුව, මිලියන 9ක ජනගහනයක් ක්ෂණිව පරික්ෂා කිරීමට චීනය කටයුතු කළ අතර, වසංගතයේ අපිකේන්ද්‍රය ලෙස සැලකුණු වූහාන් නගරයේ මිලියන 10ක පිරිසක් මැයි මාසයේදී පරීක්ෂාවට ලක් කළේය. එසේ  චීනය වසංගතය හමුවේ දක්වන මෙම කඩිනම් හා ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් අද වනවිට ලෝකයේ සියලු ආර්ථිකයන් අඩපණව තිබියදීත්, චීන ආර්ථිකය සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිරියට යන ආකාරය දැකිය හැකිය.