සැකකාර හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් සැඟවී සිටිමින් පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් සීඅයිඩීය ඊයේ (16 වැනිදා) පැය තුනක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පදිංචි රාජගිරිය රෝයල් පාර්ක් හි පිිහිටි නිවස වෙත ඊයේ පෙරවරුවේ පැමිණි සීඅයිඩීයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ මහතාගෙන් මෙසේ ප‍්‍රශ්න කර තිබේ.


පොලිසිය මඟහරිමින් සැඟවී සිටින සැකකාර හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් කිසියම් රහසිගත ස්ථානයක සිට විපක්‍ෂ නායකවරයාට දුරකථනයෙන් කතා කර සාකච්ඡුාවක් පවත්වා ඇති බවට තොරතුරු සීඅයිඩීය වෙත ලැබී තිබිණි.

ජනාධිපතිවරණය පැවැති දින පුත්තලමේ පදිංචිව සිටි අවතැන් පිරිසක් මන්නාරම ප‍්‍රදේශයේ ඡන්දය පාවිච්චිය සඳහා රැගෙන යෑමට ලංගම බස් රථ යොදා ගනිමින් රුපියල් ලක්‍ෂ 95 ක රජයේ මුදල් අවභාවිතය කළ බවට රිෂාඞ් බදියුදීන් වෙත චෝදනා එල්ල විය.

සැකකාර රිෂාඞ් බදියුදීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබිණි. මේ වන විට දින 4 ක් තිස්සේ රිෂාඞ් බදියුදීන් පොලිසිය මඟහරිමින් සැඟව සිටියි.