ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශය කිරීම සඳහා අවතැන්වූවන් ලංගම බස්රථවලින් මන්නාරම ප්‍රදේශයට රැගෙන යැමට රුපියල් අනූපන්ලක්ෂයකට අධික රජයේ මුදල් වැය කළැයි කියන සිද්ධියට අමතරව හිටපු කර්මාන්ත, වාණිජ හා අවතැන්වුවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාට එරෙහිව සිදුකරන අපරාධ විමර්ශන 10කට අධික පැමිණිලි  විභාග දින 14ක් ඇතුළත අවසන් කර සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ඊයේ (19) නියම කළේය. 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත පදනම් කරගෙන විමර්ශන සිදුකරන ලෙසත් ඒ සඳහා ද, සුදුසුකම් සහිත විමර්ශනයට නිලධාරීන් යොදවන ලෙසත් වැඩ බලන  පොලිස්පතිවරයාට නියම කොට ඇති නීතිපති දප්පුල ද ලිවේරා මහතා රිෂාඩ් බදියුදීන් මහතාට සැඟවී සිටීමට උදව් කළ අය  සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡා පවත්වා ඔහු සම්බන්ධයෙන් කරුණු දැක්වූ අයට එරෙහිව ද විමර්ශන සිදුකරන ලෙස වැඩිදුරටත් උපදෙස් දී ඇත. 

රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා සහ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත 

සොයිසා මහතා ඇතුළු පොලිසියේ උසස්  නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව එලෙස උපදෙස්   දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ලිඛිත නියෝග දීමට පැය 24ක කාලයකට පෙර ඔහු සම්බන්ධයෙන් ආවේක්‍ෂණ රාජකාරි කරන ලෙස රහස් පොලිසිය බාර උසස් නිලධාරින් හමුවේ අවධාරණය කළ කරුණු යළිත් සිහිපත් කළ නීතිපතිවරයා රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම හදිසියේ සිදුවූවක් නොවන බව වැඩිදුරටත් අවධාරණය කර ඇත. 

තමාගේ වාචික උපදෙස්වලට අනුව රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් නිසි ලෙස ආවේණෙ රාජකාරි කළේ නම් ඔහුට පොලිසියෙන් බේරී පලා යෑමට හැකියාවක් නොලැබෙන බව ද නීතිපතිවරයා පොලිස් නිලධාරින්ට කරුණු සහිතව පෙන්වා දී ඇත. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා සහ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් සමග කළ සාකච්ඡාවේදී  මෙම සිද්ධියට අමතරව බදියුදීන් මහතාට එරෙහිව අපරාධ සිද්ධීන් තවත් 10කට අධික පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කරන බව හෙළි වූ බව නීතිපතිවරයංගේ සම්බන්ධිකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය  වැඩිදුරටත් සඳහන් කළාය.

පොලිස් නිලධාරින් හෙළි කළ කරුණු පදනම් කරගනිමින් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත පදනම් කරගෙන විමර්ශන සිදුකරන ලෙස වැඩ බලන

පොලිස්පතිවරයාට නියම කර ඇති නීතිපතිවරයා එම විමර්ශන කටයුතු සඳහා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත පිළිබඳව මනා දැනුමක් ඇති දක්ෂ, සුදුසුකම් සහිත විමර්ශන නිලධාරීන් යොදවන ලෙස ද විමර්ශන කටයුතු කාර්යක්ෂමව මෙන්ම විධිමත්ව සිදුකරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දී ඇත. 

 බදියුදීන් මහතාට සැගවී සිටිමට උදව් කළ අය සම්බන්ධයෙන් මෙම මාධ්‍යයට සාකච්ඡා පවත්වා ඔහු සම්බන්ධයෙන් කරුණු දැක්වූ අයට එරෙහිව ද විමර්ශන සිදුකරන  ලෙස වැඩිදුරටත් උපදෙස් දී ඇති නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 209 සහ 220 වගන්ති යටතේ කටයුතු කිරීමට පියවර ගත්තා ලෙස ද උපදෙස් දී තිබේ. මෙම  මෙම කරුණු සම්බන්ධයෙන් සම්පුර්ණ විමර්ශනයක් සිදුකර දින 14ක් තුළ තමන්ට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියම කර ඇ.ත.


-මනෝප්‍රිය ගුණසේකර-