රැකියා පුහුණුවට උපාධිධාරීන් බඳවා ගැනීම යටතේ අභියාචනා ඉදිරිපත් කිරීමේදීත් කොන්දේසි පැනවීම නිසා උපාධිධාරීන් දහසයදහස් නවසිය දෙකකට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.



2019.12.31 වැනිදා වනවිට උපාධිය සම්පූර්ණ කළ සියලු දෙනා රැකියා පුහුණුවට බඳවා ගන්නා බවට රජය පොරොන්දු වූවත්, සැප්තැම්බර් 02 වැනිදා රැකියා පුහුණුවට බඳවා ගැනීමේදී අතිවිශාල පිරිසකට අසාධාරණයක් සිදු වූ බවද එම සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

මේ අනුව අසාධාරණයට ලක් වූ පිරිස්වලට මේ මස 15 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස රජය ප්‍රකාශයට පත් කළද, අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළව යම් යම් නීති පනවා තිබෙන බවත්, මේ නිසා උපාධිධාරීන් දහසය දහස් නවසිය දෙකකට අසාධාරණයක් සිදුව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

අභියාචනා නීතිරීතිවලට අනුව මුල් අවස්ථාවේ අයදුම්පත් යොමු කිරීමේදී ග්‍රාම නිලධාරී අත්සන සම්බන්ධ ගැටලුවලට මුහුණදුන් 655කට පළමු අවස්ථාවේ අයදුම්පත් යොමු කිරීමේදී උපාධි සහතිකයේ පිටපතක් නොමැති 2016කට හා සුළු රැකියා සිදුකර උපාධිය ලබාගත් 3,690කට හා පෞද්ගලික අංශයේ ඊ.පී.එෆ්. සහිත උපාධිධාරීන් 5,854කට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් විදේශ උපාධියක් සහිත 3,745කට හා වයස අවුරුදු 45 සම්පුර්ණ 502කට අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි බවද චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ -